27 April 2024
#දේශීය #පුවත්

ජාත්‍යන්තර සමුළු දෙකක් ඇමතීම සඳහා ජනපති උගන්ඩාවට

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුවට සහ G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව (3rd South Summit of the Group of 77 & China) සඳහා සහභාගිවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උගන්ඩාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවිනි (Yoweri Museveni) මහතාගේ ආරාධනය අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වෙයි.

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ ජනවාරි 19 සිට 20 දක්වා උගන්ඩාවේ කම්පාලා නුවර දී පැවැත්වේ.

G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව ජනවාරි 21 සිට 22 වනදා දක්වා කම්පාලා නුවරදී පැවැත්වෙන අතර මෙවර එහි තේමාව වී ඇත්තේ ‘කිසිවෙකු අත් නොහරිමු’ යන්නයි.

මෙම සංචාරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමුළු ද්විත්වයම ඇමතීමට නියමිත අතර, අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත වේ.

ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන යන මහත්වරුන් ද එක් වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *