යුක්රේන යුද්ධයත් සමඟ යුරෝපයේ ආරක්ෂක උපායමාර්ග සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට ඩ්‍රෝන තාක්ෂණය සමත් වී තිබේ. යුරෝ බෝල කිහිපයක් පමණක් වටිනා කුඩා ඩ්‍රෝන යානා මඟින් යුරෝ මිලියන ගණනක් වටිනා යුද ටැංකි විනාශ කිරීමත්, ඉරාන නිෂ්පාදිත ‘Kamikaze’ ඩ්‍රෝන යානා ගුවන් ආරක්ෂක පද්ධති බිඳ දමමින් ඉලක්ක වෙත පතිත වීමත් නිසා යුරෝපා සංගමය සිය ආරක්ෂක පද්ධති කඩිනමින් යාවත්කාලීන කිරීමට පියවර ගනිමින් සිටී.
මෙම නව තර්ජනයට මුහුණ දීම සඳහා ප්‍රංශය 2030 වසර වන විට සිය ‘Kamikaze’ ඩ්‍රෝන අවි ගබඩාව සිව් ගුණයකින් වැඩි කිරීමට සැලසුම් කර ඇත. කඩදාසි මත ශක්තිමත් යැයි පෙනුනු මිසයිල සංචිත මාස කිහිපයකින් අවසන් වීම හේතුවෙන්, ඩ්‍රෝන තාක්ෂණයේ සීඝ්‍ර දියුණුව හමුවේ යුරෝපා සංගමය සිය අවි නිෂ්පාදන ධාරිතාව වේගවත් කිරීමට ද තීරණය කර තිබේ.














