27 April 2024
#දේශීය

ණය යෝජනා ක්‍රමයක් පෙන්වා විදෙස්ගත ශ්‍රමිකයන් වෙතින් මුදල් වංචා කළ කල්ලිය කොටු

අත්තර් ජාලය හරහා  ණය යෝජනා ක්‍රමයක් මගින් විදෙස්ගත ශ්‍රමිකයින් හට සහනදායි පොලී අනුපාතයක් යටතේ ණය ලබා දෙන බව පවසා වංචාසහගතව මුදල් ලබා ගත් සැකකරුන් 05දෙනෙක් කිරුළපන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (26) පිටබැද්දර, නාරාහේන්පිට හා වැල්ලම්පිටිය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (27) අලුත් කඩේ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ණය යෝජනා ක්‍රමයක් සම්බන්ධයෙන් විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දුරකතන අංක වලට දැනුම් දී එම ශ්‍රමිකයින්ගේ මෙරට පවතින බැංකු ගිණුම්වල තොරතුරු ලබාගෙන එහි එක් ගිණුමකින් රුපියල් ලක්ෂ 05ක මුදලක් වංචා සහගතව ලබාගෙන ඇත.

තමාගේ බැංකු ගිණුමකින් මුදල් වංචාවක් සිදුකර ඇති බවට කාන්තාවක් විසින් කිරුළපන පොලීසියට සිදුකර ඇති පැමිණිල්ලකට අදාළව සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් 05දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් කූඨ ලේඛණ හා ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කර ඇති බවද වැඩිදුර විමර්ශනයේ දී අනාවරණය වී ඇත.

සැකකරුවන් වයස අවුරුදු 30, 39, 38, 46 වයස් වල පසුවන පිටබැද්දර, නාරාහේන්පිට හා වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන්  සන්තකයේ තිබි ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කිරීම සඳහා යොදාගත් ලැප්ටොප් පරිඝණකයක්, බැංකු කාඩ්පත්, රියදුරු බලපත්‍ර මුද්‍රණයට යොදා ගන්නා ලැමිනෙටින් යන්ත්‍රයක්, රියදුරු බලපත්‍ර මුද්‍රණයට යොදාගන්නා කාඩ්පත් 925ක්, ව්‍යාජ රබර් මුද්‍රා 02ක්, ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර 61ක් සහ ජාත්‍යාන්තර රියදුරු බලපත්‍ර 05ක් පොලිස් භාරයට ගෙන ඇත.

තවද, ඉහත සැකකරු විසින්ම මෙම ජාවාරම සඳහා යොදාගත් කාර් රථයක් හා වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.‍

Leave a comment

Your email address will not be published. Required fields are marked *