ඉන්දීය ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් මෙවර තමිල්නාඩු ප්‍රාන්ත මහ මැතිවරණයේදී 84.6%ක දැවැන්ත ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශ වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙය 1952 වසරෙන් පසුව එම ප්‍රාන්තයේ මැතිවරණයකදී වාර්තා වූ ඉහළම සහභාගීත්වය වන අතර, 2011 වසරේ පිහිටුවා තිබූ 78.29%ක පෙර වාර්තාව ද මෙවර බිඳ වැටී තිබීම විශේෂත්වයකි.
සාමාන්‍යයෙන් අඩු ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වන චෙන්නායි නගරයේ පවා අද පස්වරු 5.00 වන විට 81.34%ක ඉහළ සහභාගීත්වයක් දක්නට ලැබුණි. ප්‍රාන්තය පුරා ඡන්ද මධ්‍යස්ථාන අසල දක්නට ලැබුණු දිගු පෝලිම් හරහා නවක ඡන්දදායකයන් මෙන්ම වැඩිහිටියන් ද දැක්වූ උද්යෝගය මනාව පිළිඹිබු විය. කොයිම්බතූර් ප්‍රදේශයේදී ඡන්දදායකයන් පිළිගැනීමට “ටීනා” නම් රොබෝවරියක් යොදා ගැනීම සහ චෙන්නායිහිදී අලුත විවාහ වූ යුවළක් මංගල ඇඳුමින්ම පැමිණ ඡන්දය ප්‍රකාශ කිරීම වැනි සිදුවීම් මෙවර මැතිවරණයේ කැපී පෙනෙන අවස්ථා බවට පත් විය.
මෙවර මැතිවරණයේදී ප්‍රාන්තයේ ආසන 234ක් සඳහා අපේක්ෂකයන් 4,023 දෙනෙකු තරග වැදී සිටින අතර, පාලක DMK සන්ධානය, ADMK ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය (NDA), ප්‍රසිද්ධ නළු විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂය සහ සීමන්ගේ නායකත්වයෙන් යුත් Naam Tamilar Katchi පක්ෂය අතර ඉතා දැඩි සහ තීරණාත්මක තරගයක් පවතින බව දේශපාලන විචාරකයෝ පවසති.













