27 April 2024
#සංවර්ධන

දැනට තියෙන යන්ත්‍රවලින් උපරිම වැඩ ගන්න – ඇමති ජොන්ස්ටන්

මාර්ග සංවර්ධන අධිකාරියෙහි ව්‍යාපෘති සඳහා යන්ත්‍රෝපකරණ හා උපකරණ යොදාගැනීමේ දී ඒ සඳහා මගනැගුම ආයතනය තුළ ඇති ෆෝක්ලිෆ්ට්, එස්කැවේටර්, ගල්රෝල්, තාර දමන යන්ත්‍ර‍, ටිපර් රථ, මෝටර් ග්‍රේඩර් යන්ත්‍ර‍, රථ වාහන සහ යන්ත්‍රෝපකරණ ද භාවිත කිරීමට කටයුතු කරන්න ලෙස වරාය හා නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා “මගනැගුම” කාර්යාල පරිශ්‍රය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාර්ග සංවර්ධන අධිකාරියෙහි නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවක දීය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මගනැගුම ආයතනය තුළ පවත්නා යන්ත්‍රෝකරණ හා රථවාහන කාර්යක්ෂම ලෙස මාර්ග සංවර්ධන කටයුතු සඳහා භාවිතයට ගත හැකි බවයි. එසේම ඒ තුළින් මගනැගුම ආයතනයට ද ආදායමක් ඉපයිය හැකි බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මගනැගුම ආයතනයෙහි නිරීක්ෂණයක යෙදුණු අමාත්‍යවරයා එහි භාවිතයට නොගන්නා ලද හා අතහැර දමා ඇති රථ වාහන සහ යන්ත්‍රෝපකරණ පිළිබඳව සිය අවධානය යොමු කළේය. ඒ අනුව මගනැගුම ආයතනය තුළ භාවිතයට නොගෙන අතහැර දමා ඇති උපකරණ කඩිනමින් අලුත්වැඩියා කරන ලෙසත් එම උපකරණ මාර්ග සංවර්ධන කටයුතු වලදී භාවිතයට ගන්නා ලෙසත් නිලධාරීන්ට පැවසීය.

මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාවට නංවන මාර්ග සංවර්ධන ව්‍යාපෘති වල දී කුලී පදනම මත විවිධ ආයතන මගින් අදාළ යන්ත්‍රෝපකරණ සහ රථවාහන සපයාගන්නා අතර එහිදී මගනැගුම ආයතනය තුළ ඇති යන්ත්‍රෝපකරණ පිළිබඳව ද අවධානය යොමු කොට අවශ්‍යතාව පරිදි එම යන්ත්‍රෝපකරණ මගනැගුම ආයතනයෙන් ද ලබාගැනීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ. එමගින් යම්කිසි මූල්‍යමය ආයෝජනයක් ද සිදුකෙරෙන බව ගරු අමාත්‍යවරයා අවධාරණය කළේය.

පවතින සම්පත් උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීම සහ නිරපරාදේ සම්පත් නාස්ති වී යාම වැළැක්වීමේ අභිප්‍රායෙන් අමාත්‍යවරයා මෙම තීරණයට එළඹී ඇති අතර ඒ අනුව සම්පත් කාර්යක්ෂමව ප්‍රයෝජනයට ගැනීම සඳහා කටයුතු කරන ලෙස ත් අමාත්‍යවරයා නිලධාරීන්ට පැවසීය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *