පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය දැව සංස්ථාව පසුගිය වසරේ ලැබූ සුවිශේෂී ලාභයට සමගාමීව සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස රුවන්වැල්ල අරුපොලමුල්ල ප්‍රාථමික විද්‍යාලය සඳහා නව උපකරණ පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ. මෑතකදී බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙම පාසලේ ගොඩනැගිලි හා උපකරණවලට දැඩි හානි සිදුවූ අතර එමගින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට එල්ල වූ බාධාවන් අවම කිරීම මෙහි මූලික අරමුණ වී ඇත.
රාජ්‍ය දැව සංස්ථාවේ මූල්‍යමය දායකත්වයෙන් සිදුකළ මෙම පරිත්‍යාගය යටතේ විද්‍යාලයට අවශ්‍ය මේස 50ක් සහ පුටු 100ක් ලබාදීමට කටයුතු කර තිබේ. රුවන්වැල්ල ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන අමාත්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණි.
ලාභ ලබන රාජ්‍ය ආයතනයක් ලෙස ජනතාවගේ සහ සිසු දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් මෙලෙස ඉදිරිපත් වීම රාජ්‍ය අංශයේ සුවිශේෂී ආදර්ශයක් වන අතර ස්වභාවික විපත්වලින් පීඩාවට පත් ආයතන යථා තත්ත්වයට පත් කිරීමට රජය දක්වන උනන්දුව මෙයින් මනාව පිළිබිඹු වේ.













