ශ්‍රී ලංකාවේ වාණිජ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම් මධ්‍යස්ථාන (Activity-Based Learning Centres) 100ක් දිවයින පුරා ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රුපියල් මිලියන 289ක ඇස්තමේන්තුගත පිරිවැයක් සහිත මෙම ව්‍යාපෘතිය 2026 සිට 2028 දක්වා කාලය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. නව තාක්ෂණය සහ විෂයානුබද්ධ දැනුම ඒකාබද්ධ කරමින්, සීමිත භෞතික හා මානව සම්පත් ඵලදායී ලෙස උපයෝජනය කිරීම සහ සිසුන්ට සම අධ්‍යාපන අවස්ථා ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුව, ව්‍යාපෘතියේ ආරම්භක පියවර ලෙස 2026 වර්ෂයේදී දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි නියමු මධ්‍යස්ථාන 25ක් පිහිටුවීමට නියමිතය. එම නියමු ව්‍යාපෘතියේ ප්‍රගතිය සලකා බැලීමෙන් අනතුරුව ඉතිරි මධ්‍යස්ථාන 75 ස්ථාපිත කිරීමට පියවර ගැනේ. මෙම මධ්‍යස්ථාන හරහා ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනය මෙන්ම සිසුන්ගේ ප්‍රායෝගික කුසලතා වර්ධනය කිරීමට ද අපේක්ෂා කෙරේ.












