27 April 2024
#දේශීය

නව අධිකරණයක්… ! ශ්‍රීලනිප අය දැන් ප්‍රාණ ඇපයට හසු වෙලා – ඇමති පාඨලි

අධිකරණයට වෙට්ටු දමමින් නොයෙක් ආකාරයෙන් කටයුතු කළත් 16 වනදායින් පසුව නව අධිකරණ ක‍්‍රමයක් ඇති කරන බවත් ඒ තුළින් නඩු කඩිනමින් අසා දූෂිතයින්ට දඩුවම් ලබා දී දුෂිත අයුරින් උපයා විදේශ රටවලට ගෙන ගිය ධනය නැවත මේ රටට ගත හැකි ක‍්‍රමයක් ඇති කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ නුගේගොඩ ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදීයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වරිග සභාවක ප‍්‍රාණ ඇපයට හසුව ඇති බවත්, මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නිදහස රටට ලැබෙනවා සේම, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයටද ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකත්වයක් හිමිවන බව හෙතෙම පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,”ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තිබුණු පවුල්වාදය චන්ද්‍රිකා මැතිණිය අවසන් කළා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වරිග සභාවක ප‍්‍රාණ ඇපයට හසුවී ඉන්නවා. මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කළ විට ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිදහස රටට ලැබෙනවා පමණක් නොවෙයි, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයටත් අලූත් නායකත්වයක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකත්වයක් ලැබෙනවා. ඒ නිසා ඔවුන් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ ජයග‍්‍රහණය කරවීම උදෙසා ඡන්දය භාවිතා කරන්න කියන ඉල්ලීම මම කරනවා. දැන් රාජපක්ෂ කඳවුර නඩු ගැන කතා කරනවා. නඩු වලින් නිදොස් කොට නිදහස් කළා කියලා සඳහන් කරනවා. පසුගිය දිනවල නීතිපති දෙපාර්තමේන්තුවේ දෙදෙනෙකු කළ ප‍්‍රකාශය අපි දැක්කා. රටේ අධිකරණ ඇමති ලෙසින් කටයුතු කර පුද්ගලයාගේ ප‍්‍රකාශය අපි දැක්කා. එෆ්.සී.අයි.ඞී එකේ හිටිය දුෂිතම පුද්ගලයා කළ ප‍්‍රකාශය අපි දැක්කා. අවංක රාජ්‍ය සේවකයෙක් වන නීතිපති දෙපාර්තමේන්තුවේ වසන්ත නවරත්න බණ්ඩාර නඩු යටගැසූ ආකාරය, ඒ ෆයිල් සැඟවූ ආකාරය, දුෂිත ක‍්‍රියාවලියට ඉඩදුන් ආකාරය සඳහන් කළා. වර්තමාන ආණ්ඩුවෙන් තුන් හතර දෙනෙකු මේ දුෂිත ක‍්‍රියාවලියට එකතුවෙලා හිටියා. ඒ දුෂිතයින් එක්ක ගනුදෙනු බෙදා ගත්තා. ලබන මාර්තුමාසයේදි මහමැතිවරණය පැවැත්වෙනවා. හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නා සේ, මේ දුෂිතයින් කුමන පක්ෂයක හිටියත් පාර්ලිමේන්තුවට යවන්න එපා. ඩීල් කාරයින්ගේ යුගය අවසන් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. සුහද ගම්ලත්ගේ සිට රවි වෛද්‍යලංකාර දක්වා, විජයදාස රාජපක්ෂ දක්වා හැම කෙනෙකුම එක්ව කළ ඩීල් යුගය නිසා තමයි හැට දෙලක්ෂයක් ජනතාවගේ ජනවරමට පහර දුන්නේ, පනස් ලක්ෂයක් එක්සත් ජාතික පෙරමුණට ඡන්දය දුන් මිනිසුන්ට පාරේ බැහැලා යන්න බැරිවුණේ. ඔවුන් දැන් අධිකරණයට වෙට්ටු දමමින් නොයෙක් ආකාරයෙන් කටයුතු කළත් අපි 16 වනදායින් පසුව නව අධිකරණ ක‍්‍රමයක් ඇති කරනවා. ඒ තුළින් නඩු කඩිනමින් අසා දූෂිතයින්ට දඩුවම් ලබා දී දුෂිත අයුරින් උපයා විදේශ රටවලට ගෙන ගිය ධනය නැවත මේ රටට ගත හැකි ක‍්‍රමයක් අපි ඇති කරනවා”යනුවෙන් ස ඳහන් කළේය.

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *