නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසක් අද (29) පෙරවරුවේ තලංගම පොලිසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට එම ධුරයෙන් ඉවත් වන ලෙස ඉල්ලමින් පැවැත්වූ විරෝධතාවට පහර දුන් පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමිනි. මහා භාණ්ඩාගාරය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධියට අදාළව ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම එම ධුරයෙන් ඉවත් විය යුතු බව පවසමින් නව ජනතා පෙරමුණේ නියෝජිතයින් පිරිසක් ඊයේ බත්තරමුල්ල – පැලවත්ත ප්‍රදේශයේ පිහිටි ලේකම්වරයාගේ නිවස ඉදිරිපිට විරෝධතාවක නිරත විය. එම විරෝධතාව අතරතුර තවත් පිරිසක් පැමිණ උද්ඝෝෂකයින්ට විරෝධය පළ කරමින් ගොම ප්‍රහාරයක් ද එල්ල කර ඇත. මේ අතර මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ද මෙම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (28) පස්වරුවේ තලංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව තලංගම පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.














