27 April 2024
#දේශීය #පුවත්

නියංගොඩ මහ විද්‍යාල පරිශ්‍රය කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට සැලසුම්

දැනට භාවිතයට නොගන්නා නියංගොඩ මහ විද්‍යාල පරිශ්‍රය කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භකිරීම සදහා වන මූලික සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාරවර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පසුගිය 22 වනදා පැවැත්විය.

ඒ අනුව, සාම්ප්‍රදායික කිතුල් කර්මාන්තයට නව තාක්ෂණය මුසු කරමින් නවීන ලෝකයට ගැලපෙන පරිදි මෙම නිෂ්පාදන සකස් කිරීමට නියමිතව පවතින අතර, එය දේශීය මෙන්ම විදේශීය වෙළදපොලට කිතුල් ආශ්‍රිත අතුරු නිෂ්පාදන ලෙස ‍කිතුල් චොකලට්, තෙලිදිය පානය, දඹදිය ශක්ති ජනක පානය ඇතුලු නිෂ්පාදන රැසක් ආරම්භ කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය වසර 05ක ආයෝජන සැලැස්මක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශය සහ GREEN GLOBE ORGANICS පෞද්ගලික සමාගම එක් ව ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ ආරම්භක අදියර සදහා රුපියල් මිලියන 100 ක පිරිවැයක් දැරීමට නියමිත අතර ව්‍යාපෘතිය සදහා තෙවන පාරශවීය ආයෝජනයෙකු විසින් රුපියල් මිලියන 67 ක මුදලක් ආයෝජනය කිරීමට නියමිත අතර, මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ සාම්ප්‍රදායික කිතුල් නිෂ්පාදන නවීන ලෝකයට ගැලපෙන සේ සංවර්ධනය කරමින් ජාතිය ආර්ථිකයට මෙන්ම කිතුල් ගොවීන්ට මෙම ව්‍යෘපෘතිය මගින් අත්වන ප්‍රතිලාභ සුවිශේෂී බවත්, අපගේ සාම්ප්‍රදායික කර්මාන්ත රැකගැනීම සිදුකල යුක්තක් බවත් ය. කිතුල් ආශ්‍රිත නිෂ්පාදන ධාරිතාවය ඉහල නංවමින් කිතුල් කර්මාන්තයේ හෙට දවස වෙනුවෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ සියලු පාර්ශවයන්ට තම ස්තූතිය පළ කර සිටින බවත් මෙහිදී එම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

මෙම සාකච්ඡාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක, තුම්පනේ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බංඩාර, පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත, පළාත් සංචාරක අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර යන මහත්ම මහත්මීන් ද එක් ව සිටියේය.

 

 

මාතලේ – මහේෂ්

Leave a comment

Your email address will not be published. Required fields are marked *