මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් අනුමත කර ඇති නිල වාහන අංක තහඩු වෙනස් කරමින් ධාවනය කරනු ලබන වාහන පරීක්ෂා කර, එම රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ. රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසන්නේ විවිධ නීතිවිරෝධී ක්‍රියාවල නිරත වන ජාවාරම්කරුවන් හඳුනාගැනීම සඳහා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.
නව ලියාපදිංචි කිරීම් සඳහා ප්‍රමිතිගත අංක තහඩු නිකුත් කිරීමේ පවතින ප්‍රමාදය අවස්ථාවක් කරගනිමින් ඇතැම් පිරිස් විවිධ වර්ණ සහ හැඩතල සහිත නිල නොවන අංක තහඩු භාවිත කරන බව නිරීක්ෂණය වී ඇත. මේ සම්බන්ධයෙන් මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා ද දැනුවත් කර ඇති අතර, ඉදිරියේදී එවැනි වාහන අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ අවධානයක් යොමු කරනු ඇත.














