27 April 2024
#දේශීය

පක්ෂයේ නැති ප‍්‍රජාතන්ත‍්‍රවාදය රට තුළ ඇති කරන්න රනිල්ට බෑ – ජනපති කියයි

කුමන හේතුවක් නිසාවත් රටේ සංවර්ධන කි‍්‍රයාදාමය සහ මහජන සුබසාධන සේවාවන් අඩපණ නොවිය යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාණය කරයි. අදාළ මූල්‍ය වර්ෂය සඳහා වෙන්කර තිබෙන සියලු මුදල් නිසි පරිදි වැයකරමින් ජනතා අවශ්‍යතා උපරිමයෙන් ඉටුකරන ලෙස නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඉදිරි නව වසරට අදාළ සංවර්ධන සැලසුම් ද නිසි පරිදි සැලසුම් කරන ලෙස දැනුම් දෙනු ලැබීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.

මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ පවතින දේශපාලන නොසන්සුන්තාවය ගැටලුවක් කර නොගෙන මහජන සේවාවන් සහ සංවර්ධන වැඩපිළිවෙළ සකී‍්‍රයව ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට නිලධාරින් කැපවිය යුතු බවයි.

ජනතා සුබසෙත වෙනුවෙන් තම මගපෙන්වීම යටතේ ජනාධිපති කාර්යාලය යටතේ කි‍්‍රයාවට නංවා තිබෙන සියලු විශේෂ ව්‍යාපෘති 2019 වසරේ දී නව ජවයකින් සහ ශක්තිමත්ව කි‍්‍රයාවට නැංවීමට සැලසුම් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරින්ට දැනුම් දුන්නේය.

දිළිදුකම පිටුදැකීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය යටතේ කි‍්‍රයාත්මක ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් වන ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ද ඉදිරි වසරේ වඩා ශක්තිමත්ව කි‍්‍රයාත්මක කිරීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා දිස්ති‍්‍රක් මට්ටමින් පත්කර ඇති සම්බන්ධීකරණ නිලධාරින් නිසි ලෙස තම වගකීම් ඉටුකිරීමේ වැදගත්කම ද පැහැදිළි කළේය.

පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන යටතේ දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවා තිබෙන පැළ සිටුවීමේ වැඩසටහන්වල ප‍්‍රගතිය පිළිබඳව ද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වූ අතර ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේ පවතින වැසි සහිත තත්ත්වය ආශිර්වාදයක් කර ගනිමින් එම වැඩසටහන වේගවත් කරන ලෙසයි.

දිස්ති‍්‍රක් මට්ටමින් කි‍්‍රයාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය ද මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර උතුරු නැගෙනහිර සංවර්ධනය වෙනුවෙන් පත් කළ විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකාය සිය කටයුතු සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යමින් ඉතා කෙටි කළක් තුළ අත්කරගෙන තිබෙන සුවිශේෂී ප‍්‍රගතිය පිළිබඳව ද සතුට පළ කළේය.

පසුගිය වසර තුන හමාර තුළ පැහැර හරින ලද උතුරු නැගෙනහිර ජනතාවගේ සංවර්ධන අවශ්‍යතා ඉටු කිරීමට උතුරු නැගෙනහිර සංවර්ධනය වෙනුවෙන් තමා විසින් පත්කරන ලද ජනාධිපති කාර්ය සාධන බලකාය යටතේ සුවිශේෂී මෙහෙවරක් ඉටු වෙමින් පවතින බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රට තුළ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ පක්ෂය තුළ නැති ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් රට තුළ ඇති කිරීමට රනිල් වික‍්‍රමසිංහ මහතාට හැකියාවක් නොමැති බවයි.

වසර 25 ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයාව සිටින රනිල් වික‍්‍රමසිංහ මහතා එහි පසුපෙළ කිසිවෙකුට හිස එසවීමට ඉඩ නොදෙන අතර, රටේ නීතිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ඉහළින් කතා කරන ඔහු පළමුව තම පක්ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදී කරගතයුතු බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *