27 April 2024
#සංවර්ධන

පරණ බස් අලුතින් හදන ලක්දිව ඉංජිනේරු සමාගමෙන් දුම් පරීක්ෂණ මධ්‍යස්ථානයක්

පරණ බස් අලුතින් හදන ලක්දිව ඉංජිනේරු සමාගම මේ වසරේ පළමු අර්ධයේදී වාර්තා ගත ලාභයක් අත්පත් කර ගත් බවත් එය ජනවාරි – අගොස්තු මාසවල රුපියල් මිලියන 35ක ලාභයක් බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය කියා සිටියේ ලක්දිව ඉංජිනේරු සමාගම ප්‍රති නිෂ්පාදනය කළ බස්රථ ගණන 107ක් වන බවයි. එය පසුගිය වසරේ ජනවාරි – අගොස්තු මාසවලට සාපේක්ෂව සමාගමේ කාර්යක්ෂමතාව සියයට සියයකින් ඉහළ යාමක්ද වන බවයි. මෙම කරුණු අනාවරණය වූයේ ලක්දිව ඉංජිනේරු සමාගමේ දුම් සහතික නිකුත් කිරීමේ පරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවේදී ප්‍රකාශයට පත් කළ සමාගම් ප්‍රගති සමාලෝචන වාර්තාවෙනි.

ලක්දිව ඉංජිනේරු සමාගම ප‍්‍රවාහන අමාත්‍යාංශයට අයත් රජයේ සමාගමක් වන අතර එම සමාගමේ ව්‍යාපාරික අවස්ථා පුළුල් කරමින් සමාගමේ දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කළේ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතායි. සමාගමේ සේවකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් සහ දැනුමින් එම මධ්‍යස්ථානය ඉදි කෙරිණ. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට පූර්ණ වශයෙන්ම සේවා සැපයීම එම දුම් පරීක්ෂණ මධ්‍යස්ථානයේ ඉලක්කයි. අතහැර දමන ලද ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කර එම දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය ඉදිකර තිබීමද විශේෂත්වයකි.

මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” මම අමාත්‍යාංශය භාර ගන්නා විට ලක්දිව ඉංජිනේරු සමාගම වැහෙන්න ඔන්න මෙන්න තිබුණේ. නමුත් ඉතා කෙටි කාලයකදී මේ සමාගම ඉහළ ජයග්‍රහණ රැසක් ලබා ගත්තා. ඉස්සර මේ සමාගම මාසයකදී හැදූ බස්රථ සංඛ්‍යාව 7ක් පමණ වුණා. අද බස්රථ 15ක් මාසයකට හදනවා. ඉදිරියේ එම සංඛ්‍යාව 20 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම සමාගමේ ව්‍යාපාරික අවස්ථා තවත් පුළුල් කරමින් ජපන් රථවාහන අළුත් වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් මේ සමාගම් භූමියේ ස්ථාපිත කිරීමටත් අපි අපේක්ෂා කරනවා…”යි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

එම උත්සව සභාවේදී සමාගමේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම සහ සමාගමේ සේවකයින් සඳහා ආරක්ෂිත නිල ඇඳුම් ප්‍රදානය කිරීමද සිදු විය. සමාගමේ සභාපති ඊ. ඒ. ටි. එදිරිසිංහ සහ විධායක අධ්‍යක්ෂ ඩි. වි. විමලසිරි යන මහත්වරුද උත්සව සභාවට එක් වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *