27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුවේදී දේශපාලන ගේම් එපා මන්ත්‍රී මනුෂ කියයි

ඇමැති රිෂාඩ් බදියුදීන් වැරැද්දක් කර ඇතිනම් ඔහු ගෙදර යැවීමට පමණක් නොව හිරේ යැවීමටත් සූදානම් බවත් කිසිම අවස්ථාවක ඔහු ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

රිෂාඩ් මහතා වැරැද්දක් කර ඇතිනම් ඔහුට විරුද්ධව කටයුතු කිරීමට විපක්ෂය අවශ්‍ය නැති බවත් පාර්ලිමේන්තුව දේශපාලන ගේම්වලට යොදා ගත යුතු නැති බවත් මන්ත්‍රීවරයා සදහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ” රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා මේ ත්‍රස්තවාදයට සම්බන්ධ නම්, අඩුම තරමේ වාහනයක් දීලා, කාමරයක් දීලා, දුරකතන ඇමතුමක් දීලා තියෙනවා නම් අපිත් රිෂාඩ් බදියුදීන්ට විරුද්ධව කටයුතු කරනවා. ඔහු වැරදි කරලා තියෙනවා නම් දඩුවම් ලබාදීමට විපක්ෂයක් අවශ්‍ය නෑ. අපි වැරදි කරලා තියෙනවා නම් අවශ්‍ය පියවර අපි ගන්නවා. මේ සම්බන්ධයෙන් වැරදි කරලා තියෙනවාද කියන එක ගැන තීරණය කරන්න තියෙන තැන පාර්ලිමේන්තුව නෙමෙයි. මේ පිළිබද පොලීසිය, හමුදාව හරහා මේ පිළිබද නිවරදි පරීක්ෂණයක් කරලා වැරදි කරලා තියෙනවා නම් ඔහු ගෙදර යවන්න නෙමෙයි හිරේ යවන්නත් අපි සූදානම්. එතුමා වැරදි කරලා තියෙනවානම් හිරේ යවන්න කියලා තමයි අපි කියලා තියෙන්නේ. පාර්ලිමේන්තුව තමන්ගේ දේශපාලන ගේම් වලට තැනක් කරගන්න එපා. මැරුණ මිනිස්සු තමන්ගේ දේශපාලන ගේම් එකක් කරගන්න එපා. දැන් ඉදිරිපත් වෙලා තිබෙන විශ්වාසභංග යෝජනාව දිනුවත් දිනුම්, පැරදුනත් දිනුම් කියලා උදය ගම්මන්පිල මහත්තයා කියලා තිබුණා. මේ මැරුණු අහිංසක ජීවිත උඩින් ගිහින් තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් පාදඩ වැඩ කරන්න එපා කියලා අපි විපක්ෂයට කියනවා. යැයි මන්ත්‍රී මනුෂ වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *