පාවිච්චි කළ වාහන ආනයනයේදී ලබාදෙන බදු සහනය හේතුවෙන් මේ වසරේදී ද රජයට රුපියල් බිලියන 40ක පමණ බදු ආදායමක් අහිමි වීමේ අවදානමක් පවතින බව ලංකා මෝටර් රථ වෙළඳ සංගමය (CMTA) පෙන්වා දෙයි. මෙම සහනය වහාම ඉවත් කරන ලෙස එම සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
දැනට පාවිච්චි කළ වාහනවල CIF අගය මත ලබාදෙන 15%ක ක්ෂය වීම (depreciation) හේතුවෙන් 2025 වසරේදී ද රජයට රුපියල් බිලියන 40ක ආදායමක් අහිමි වී තිබේ. මීට පෙර පාවිච්චි කළ වාහන සඳහා මෙම සහනය අදාළ වුවද, වර්තමානයේ ආනයනය කෙරෙන බොහෝ වාහන ඇත්ත වශයෙන්ම “ශුන්‍ය සැතපුම්” (zero-mileage) ධාවනය වූ අලුත් වාහනවලට සමාන තත්ත්වයේ පවතින බව CMTA පවසයි. මෙම සහනය නිසා පාවිච්චි කළ වාහන ආනයනය කරන්නන්ට අසාධාරණ වෙළඳ වාසියක් ලැබෙන බවත්, එය අලුත් වාහන ආනයනය කරන්නන්ට හානිදායක බවත් සංගමය අවධාරණය කරයි.
2013 වසරේ ක්‍රියාත්මක වූ පරිදි වාහනයේ වයස අනුව ක්ෂය වීම තීරණය කෙරෙන සහ උපරිම 10%කට සීමා වූ ව්‍යුහගත ක්‍රමවේදයක් (structured depreciation model) නැවත හඳුන්වා දෙන ලෙස ඔවුන් යෝජනා කරයි. රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන තුළ මූල්‍ය විනය පවත්වා ගැනීම සහ රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බැවින්, පවතින නීතිවල ඇති මෙම හිඩැස් වහාම නිවැරදි කළ යුතු බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
















