2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් වන නඩු විභාගයට අදාළ සියලු පිළිගැන්වීම් අද (අප්‍රේල් 23) දිනයෙන් අවසන් කරන ලෙස විශේෂ පාස්කු මහාධිකරණයේ සභාපති විනිසුරු උපුල් රාජකරුණා මහතා නියෝග කළේය.
විනිසුරු උපුල් රාජකරුණා (සභාපති), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කණ්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය පැවැත්විණි. 2025 දෙසැම්බර් මාසයේදී ආරම්භ වූ මෙම විශේෂ නඩු විභාගය තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සහ ප්‍රහාරයට ලක්වූ ස්ථානවල සාක්ෂිකරුවන් ඇතුළු 150කට අධික පිරිසක් සාක්ෂි ලබා දී තිබේ.
විශේෂයෙන්ම කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් පමණක් සාක්ෂි 171ක් මෙහෙයවා ඇති අතර, චූදිතයන් 24 දෙනෙකුට එරෙහිව චෝදනා 23,170ක් ඉදිරිපත් කර තිබුණි. අද දින සියලු කරුණු ඉදිරිපත් කිරීම් අවසන් කරන ලෙස දැනුම් දුන් විනිසුරු මඩුල්ල, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ඇතුළු නීතිඥ මණ්ඩලයට සහ විත්ති පාර්ශ්වයට ඒ බව දැනුම් දුන්නේය.













