රුපියල් කෝටි 6කට අධික වටිනාකමකින් යුත් පරිප්පු කන්ටේනර් 10ක් වංචනික ලෙස ලබාගෙන මුදල් නොගෙවීම සහ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් යන්ත්‍රෝපකරණ සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (අප්‍රේල් 23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කළේය.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු වන මනෝජ් දුශ්‍යන්ත රාජරත්න මහතා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය මෙම පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගමක අධ්‍යක්ෂවරුන් පිරිසකට එරෙහිව මෙම චෝදනා එල්ල වී ඇති අතර, ඔවුන් විසින් වංචනික ලෙස මෙම පරිප්පු තොග ලබාගෙන ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
අදාළ වංචාව සම්බන්ධයෙන් සැක කෙරෙන දේශීය සමාගමේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව දැනටමත් විදේශ ගමන් තහනමක් පනවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේය. විමර්ශනවල ප්‍රගතිය සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සිද්ධියට අදාළ සියලු තොරතුරු ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් මීළඟ නඩු වාරයේදී ඉදිරිපත් කරන ලෙස වැඩිදුරටත් නියෝග කළේය.













