27 April 2024
#දේශීය

පොලිසියට ඉහළ පිළිගැනීමක් ඇති කරනවා … ජනපති !

ශ්‍රී ලංකා පොලිස් සේවාව ජාතික වශයෙන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන් ද ඉහළ පිළිගැනීමක් ඇති සේවාවක් බවට පත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තමා යටතේ පවතින කාලසීමාව තුළ අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කළුතර පොලිස් අභ්‍යාස ආයතනයේ කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ විසිරයාමේ පෙළපාළිය ඊයේ (08) පස්වරුවේ එක්වෙමින්.

ලොව දියුණු රටවල පොලිස් සේවාවන් හා සැසඳීමේ දී ශ්‍රී ලංකා පොලිස් සේවාව වෙනස්කම් රැසකට භාජනය විය යුතු ව තිබෙන බව ජනාධිපතිවරයා පැවසිය. එම ජයග්‍රහණය කරා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සමීප කරවීමට පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර වශයෙන් සිදුකළ යුතු පරිවර්තනීය වැඩපිළිවෙළ පොලිස් දෙපාර්තමේන්තුව තමා යටතට පවරාගත් ඉකුත් මාස කිහිපය තුළ ආරම්භ කළ බව ජනාධිපතිවරයා පැවසීය.

රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ කාර්යයට පමණක් සීමා නොවූ ශ්‍රී ලංකා පොලිසිය අද මහජන සුබසාධන සේවාවන්වල දී ඉටුකරන මානුෂීය හා විශිෂ්ට මෙහෙවර ද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගැයීමට ලක් කෙරිණි.

ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස ආයතනයේ ඉතිහාසය තුළ පොලිස් කාන්තා බලඇණියක් විසිර ගිය ප්‍රථම අවස්ථාව මෙයවීම විශේෂත්වයක් වන අතර පොලිස් අභ්‍යාස ආයතනයේ පුහුණුව සාර්ථක ලෙස අවසන් කළ කාන්තා කොස්තාපල්වරියන් 586 දෙනෙකු සහ උප පොලිස් පරීක්ෂකවරියන් 27 දෙනෙකු ඇතුළු 613 දෙනෙකු මෙහිදී විසිර ගියහ.

විශිෂ්ටතා දැක්වූ පොලිස් නිලධාරිනියන්ට සම්මාන සහ සහතික පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් ජනාධිපතිවරයා වෙත ද සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් ද, පොලිස්පති පූජත ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න යන මහත්වරුන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *