27 April 2024
#දේශීය

පොහොර මාෆියාව සමග සටන් වැදි ජයග්‍රහණය කිරීමට නිලධාරින්ගේ කැපවීම අත්‍යවශයි – ජනපති

රජයේ ප්‍රතිපත්තියේ කිසිඳු වෙනසක් නොමැති බවත් මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂිකර්මාන්තයක් සඳහාම පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මහ කන්නයේ වගා කටයුතු සහ කාබනික පොහොර සැපයුම සම්බන්ධයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදීය.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ රජයක් ලෙස කාබනික පොහොර බෙදාහැරීම, සහනාධාර ලබාදීම කාබනික ගොවිතැන වෙනුවෙන් පමණක් සිදුකරන බවයි.

ගොවීන් නිසි ලෙස දැනුවත් කළ යුතු මෙන්ම එය ක්‍රියාත්මක කිරීමේදී පවතින රසායනික පොහොර මාෆියාව පිළිබඳ හඳුනාගත යුතු බවත් ඒ සමග සටන් වැඳ නිවැරදි දේ ජයග්‍රහණය කරවීමට නිලධාරීන්ගේ කැපවීම අත්‍යාවශ්‍ය බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

දිවයිනේ සියලු පළාත්වල වී ඇතුළු සෙසු භෝග වගා කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන්ගෙන් කරුණු විමසා බැලීය.

පැවති අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය එළවළු ඇතුළු භෝග රැසක අස්වැන්න අඩුවීමට බලපා ඇත. එමෙන්ම කාබනික පොහොර බෙදාහැරීමේදී සිදු වූ ප්‍රමාදය නිසා මහ කන්නයේ වගා කටයුතුවලට බලපෑම් ඇති විය. එහෙත් දිස්ත්‍රික් මට්ටමින් සමස්ත වගා බිම්වලින් 70%කට ආසන්න භූමි ප්‍රමාණයක වගා කටයුතු ආරම්භ කර ඇති බව නිලධාරිහු පැවසූහ.

ගොවීන් උද්ඝෝෂණවල යෙදීමට සහ වගා කටයුතු ප්‍රමාද කිරීමට හේතුව ඔවුන් නිසි ලෙස දැනුවත් නොවීම බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. එලෙස දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිලධාරීන් වෙත සිය අප්‍රසාදය පළ කළේය. හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය තුළ සිටිමින් උද්ඝෝෂණය කරන ගොවීන් වෙනුවෙන් පිළිතුරු සෙවීමට නිලධාරීන් ක්‍රියා කළ යුතු බව අවධාණය කළ ජනාධිපතිවරයා, රජයේ ප්‍රතිපත්තියට එකඟ නොවන නිලධාරීන්ට ඉන් ඉවත් වීමට බාධාවක් නොමැති බවත් සඳහන් කරනු ලැබීය.

හිතට එකඟව පැහැදිලිව වැඩ කරන කණ්ඩායමක සහාය මෙම වැඩපිළිවෙළේ සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය බවත් ජනාධිපතිවරයා පැවසීය.

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ, ආණ්ඩුකාරවරුන් වන මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, අනුරාධ යහම්පත්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, යන මහත්ම මහත්මීහු කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ ඊට අයත් රේඛීය ආයතනවල ප්‍රධානීහු, කාබනික පොහොර නිෂ්පාදකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *