අසර්බයිජානයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මනෝජ් සුරංග ලියනගේ හෙවත් “බටුවත්තේ චාමර” නමැත්තාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලිසිය පියවර ගනිමින් සිටී. රාගම බටුවත්ත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි මොහු පසුගිය අප්‍රේල් මස 07 වැනිදා අසර්බයිජාන ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගනු ලැබුවේ එරට රැඳී සිටියදීය.
ශ්‍රී ලංකාව තුළ සිදුවූ දරුණු ගණයේ අපරාධ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසක් සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී තිබේ. සැකකරු මෙරටට රැගෙන ඒමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) මඟින් ඔහු භාරයට ගෙන ඇති අතර, රැඳවුම් නියෝග මත ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම හරහා මෙරට අපරාධ ජාලයේ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට විමර්ශන නිලධාරීන් අපේක්ෂා කරයි.














