තායිලන්තයේ බැංකොක් නුවර සුවර්ණභූමි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් පිරිසක් අතර ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් එම සමාගම අද (16) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම සිදුවීම 2026 අප්‍රේල් 02 වැනි දින බැංකොක් ගුවන් තොටුපළේ මගී පරීක්ෂා කිරීමේ (Check-in) ප්‍රදේශයේදී සිදුව ඇත. එහිදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ බැංකොක් නුවර භාර කලාපීය කළමනාකරු (Country Manager), අදාළ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සහ එහි ස්ථාන භාර කළමනාකරු (Station Manager) සමඟ දරුණු බහින්බස්වීමක පැටලී ඇති අතර එය ශාරීරික ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබේ.
ගුවන් සමාගම පවසන්නේ කලාපීය කළමනාකරුගේ මෙම ක්‍රියාකලාපය නීතිවිරෝධී, අසාධාරණ සහ සමාගමේ නීති රීති උල්ලංඝනය කිරීමක් බවයි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් තොටුපළ පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර, තායිලන්ත බලධාරීන් සහ ගුවන් සමාගම මඟින් මේ වන විට විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.














