ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මුහුණ දෙන වෘත්තීය ගැටලු පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ඒවා කඩිනමින් නිරාකරණය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම පියවර ගත් අතර, මහජන සෞඛ්‍ය පද්ධතිය තුළ ඔවුන් ඉටු කරන සේවය අගය කරමින් පවතින බාධාවන් ඉවත් කිරීමේ වැදගත්කම එහිදී සාකච්ඡා විය.
මෙම හමුවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සියලු ශ්‍රේණි සඳහා වෙන වෙනම පැහැදිලි රාජකාරී ලැයිස්තු සකස් කිරීම, ක්ෂේත්‍ර රාජකාරී සඳහා අවශ්‍ය යතුරුපැදි ලබා ගැනීම සහ පවතින පුරප්පාඩු සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීම වැනි ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් විය. විශේෂයෙන්ම ක්ෂේත්‍ර මට්ටමින් සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේදී නිලධාරීන්ට මුහුණ දීමට සිදුවන ප්‍රායෝගික අපහසුතාවන් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ නියෝජ්‍ය අමාත්‍යවරයා, මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට කැපවන මෙම නිලධාරීන්ගේ සුබසාධනය සහ සේවා අවශ්‍යතා සම්පූර්ණ කිරීම රජයේ වගකීමක් බව ප්‍රකාශ කළේය. ඒ අනුව, ඉදිරිපත් වූ ඉල්ලීම් සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසත් ඒ සම්බන්ධයෙන් වූ ප්‍රගතිය තමා වෙත වාර්තා කරන ලෙසත් අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කරන ලදී.












