ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මුහුණ දෙන ගැටලු කිහිපයක් කඩිනමින් නිරාකරණය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා උපදෙස් ලබා දී තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සියලු ශ්‍රේණි සඳහා වෙන වෙනම රාජකාරී ලැයිස්තු සකස් කිරීම, නව යතුරු පැදි ලබා ගැනීම සහ නවක නිලධාරීන් බඳවා ගැනීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු විය. එම සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙමින් කියා සිටියේ එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නා ලෙසයි.













