27 April 2024
#සංවර්ධන

මුලින්ම අධිවේගි මාර්ගයක් හදන්න තිබුණෙ අගනුවර ඉදලා දෙවෙනි අගනුවරටයි – ඇමැති කිරිඇල්ල

ශ‍්‍රී ලංකාවේ අධිවේගී මාර්ග නිර්මාණය කිරීමේදී මුලින්ම අධිවේගී මාර්ගයක් නිර්මාණය කළ යුත්තේ අගනුවර සිට දෙවෙනි අගනුවරට බව සභානායක රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ත්‍රෛනිකායික ගරුතර මහාසංඝරත්නයේ ප‍්‍රධානත්වයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසෙහි ඉදිකිරීම් කටයුතු වල නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා , ” මහනුවර ලංකාවේ දෙවෙනි නගරය ලංකාවේ අධිවේගී මාර්ගයක් හැදුවනම් හදන්න තිබ්බේ අගනුවර ඉදලා දෙවෙනි අගනුවරට නමුත් පසුගිය කාලයේ මහනුවර ප‍්‍රධාන කොටගෙන කන්ද උඩරට පළාත් සම්පූර්ණයෙන් අමතක කරලා තිබ්බා. යහපාලන රජය බිහි වුණායෙන් පස්සේ ජනාධිපතිවරයාගෙත් අගමැතිවරයාගෙත් ආශිර්වාදය ඇතිව අපිට පුළුවන් වුණා මේ අධිවේගී මාර්ගය ආරම්භ කරන්න . මේ අවස්ථාවේදි මම මතක් කරන්න කැමතියි දකුණු අධිවේගී මාර්ගය ඉදි කරන්න අවුරුදු 10 ක් ගියා. නමුත් අපිට පුළුවන් වෙනවා මේ කිලෝ මීටර් හතලිහක ප‍්‍රමාණය ඇතුළත් මීරිගම සිට කුරුණෑගල කොටස මේ අවුරුද්දෙ අන්තිමට අවසන් කරන්න. මේ අධිවේගී මාර්ගයේ ඉතිරි කොටසේ ඉදිකිරීම් කටයුතු සිදු කරන තුරු මහනුවරට යන්න අළුත් පාරක් නිර්මාණය වෙනවා.ඒ පස්යාල මීරිගම කුරුණෑගල හරහා මහනුවරට. මේ හරහා කන්ද උඩරට පළාත් වල විශාල දියුණුවක් ඇතිවෙනවා ඒක ඒකාන්තයි . ඒ වගේම මේ ප‍්‍රදේශයේ ඉඩම් වල වටිනාකම සියයට පන්සීයයකින් වැඩිවෙනවා. මහානායක ස්වාමීන් වහන්සේලා නිතරම විමසන කාරණයක් තමයි මේ මාර්ගයේ ඉදිකිරීම් සිදුවීම කොහොමද කියන එක. ඉතින් මම තීරණය කළා මහා නායක අනුනායක හිමිවරුන්ට මේ ව්‍යාපෘතිය පෙන්නමු කියලා.මම හිතනවා මේකෙන් විශාල අවබෝධයක් ලබා ගැනීමට හැකි වුණා කියලා.ඒ වගේම අපගේ ආරාධනාව පිළිගෙන මෙහි වැඩම කළ මහා නායක අනුනායක ස්වාමීන් වහන්සේලාට මම මේ අවස්ථාවේදී ස්තූතිවන්ත වෙනවා .

මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමිල අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් හා මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිලපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමියන් ප‍්‍රධාන ගරුතර මහා සංඝරත්නය හා මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල හා අශෝක් අබේසිංහ යන අමාත්‍යවරුන්ද පා.ම.වේලූකුමාර්, මයන්ත දිසානායකයන මන්ත්‍රිවරුන්ද මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සුරියආරච්චි මහතා ඇතුළු අධිවේගි මාර්ග ව්‍යාපෘතියේ නිලධාරින් ද සහභාගි වී සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *