27 April 2024
#දේශීය

මෙරට සමාජ ජාල භාවිතයට නව නීති සම්පාදනය කල යුතුයි – ඇමැති නිමල්

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ Mona Rishmawi මහත්මිය සහ Rory Mungoven,Francesca Marotta, Raghu Menon යන පිරිස අධිකරණ,මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාව අද (31) දින හමුවිය.

එම හමුවේදී නීතීයේ ආධිපත්‍ය ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සාකච්ඡා කර ඇති බව අධිකරණ අමාත්‍යංශය පවසයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය මෙකී අවශ්‍යතාවය සඳහා නීති සම්පාදනයේ දී අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීමට එකඟතාවය පළ කරන ලදී.

මුහුණු පොත සහ සමාජ මාධ්‍ය ජාල මගින් ජාතීන් සහ ආගම් අතර වෛරය පතුරුවාලීමට ගනු ලබන ක්‍රියාමාර්ගයන් වැළැක්වීමට නව නීති සම්පාදනය කිරී‍මේ අවශ්‍යතාවක් ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

විශේෂයෙන් කිසිඳු වගකීමකින් තොරව කරනු ලබන ක්‍රියාමාර්ගයන් නිසා සමාජ ජාල සහ මුහුණු පොත තුළින් විශාල පුද්ගලයින් රාශියකට පදනමකින් තොරව පහර කෑමට ලක්ව ඇති බවත්, මේ නිසා ශ්‍රී ලාංකීය සමාජය තුළ මුහුණු පොත සහ සමාජ ජාලා භාවිතා කිරීමේ දී සිදුවන එවැනි අකටයුතුකම් පාලනය කිරීම සඳහා දැඩි නීති රීති පද්ධතියක අවශ්‍යතාවක් ඇති බවත්, මෙම කටයුතු කිරීමේ දී ඒ සඳහා ජාත්‍යන්තරව පවතින තත්වයන් සහ අත්දැකීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයෙන් ලැබෙන තාක්ෂණික සහය ඉතා වැදගත් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එකම රටක් තුළ එකම නීතීයක් යටතේ ශ්‍රී ලාංකීය නීති පද්ධතියේ අවශ්‍ය නීති සම්පාදනය සඳහා දැනටමත් විවිධ ප්‍රතිසංස්කරණයන් සිදු කර ඇති බවත්, ජනතාවගේ අවශ්‍යතාවය මෙවැනි නීති පද්ධතියක් තුළින් රට ඉදිරියට යාමටත් ඒ සඳහා ජනතාවගේ සහය රජයට නොඅඩුව ලැබෙන බවත් එය සාර්ථක කිරීමට තම ආමාත්‍යංශයේ සෑම සහයෝගයක් ම ලබා දෙන බවත් පැවසූ අමාත්‍යවරයා මෙකී කාර්යය සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය ඇතුළු වෙනත් ආයතන තුළින් ලබා දෙන සහය සතුටින් පිළිගන්නා බවත්,නීතියේ ආධිපත්‍ය සුරකිමින් ප්‍රමාදයකින් තොරව ජනතාවගේ නීති ප්‍රශ්න විසඳාලීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තම අමාත්‍යංශයේ අරමුණ බව ද පැහැදිලි කළේ ය.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා,අතිරේක ලේකම් නීතීඥ පියුමන්ති පීරිස් මහත්මිය, නීති උපදේශිකා දිල්හාරා අමරසිංහ මහත්මිය ද සහභාගි විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *