රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් අද (අප්‍රේල් 14) චීනයේ බීජිං නුවරට පැමිණි අතර එහිදී ඔහු චීන විදේශ අමාත්‍ය වන්ග් යී (Wang Yi) සමඟ ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම යුක්රේන සහ ඉරාන යුද්ධ පිළිබඳව තීරණාත්මක සාකච්ඡා පවත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මැදපෙරදිග පවතින උණුසුම් තත්ත්වය සහ යුක්රේන අර්බුදය ඇතුළු කලාපීය ගැටලු රැසක් පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගැනීමට නියමිත බව රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේය.
මෙම හමුවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය, BRICS, ෂැංහයි සහයෝගීතා සංවිධානය (SCO), G20 සහ APEC වැනි ජාත්‍යන්තර වේදිකාවල දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු වනු ඇත. 2022 වසරේදී රුසියාව සහ චීනය අතර ඇති කරගත් “සීමා රහිත” (No limits) හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, බටහිර රටවල බලපෑමට එරෙහිව පොදු ස්ථාවරයක සිට කටයුතු කිරීම දෙරටේම අරමුණ වී තිබේ.
ඇමෙරිකානු බුද්ධි අංශ විසින් චීනය සහ රුසියාව වොෂින්ටනයේ ප්‍රධානතම තරඟකරුවන් ලෙස හඳුන්වා දී ඇති පසුබිමක, මෙම සංචාරය ගෝලීය දේශපාලන සමතුලිතතාවය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විදේශ විශ්ලේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම ඉරාන යුද්ධය හමුවේ රුසියාව සහ චීනය අනුගමනය කරන උපායමාර්ගික පියවර පිළිබඳව ලෝකයේම අවධානය මේ වන විට යොමුවී පවතී.














