27 April 2024
#දේශීය

රට බේරා ගන්නනම් නවින අපනයන ආර්ථිකයට ගමන් කළ යුතුයි – අගමැති

රට ජාතිය බේරා ගැනීමට යැයි පවසමින් ඇතමුන් දේශපාලනයේ යෙදී සිටියත්, සැබෑ ලෙස රට බේරා ගැනීමට නම් නවීන අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ නුග සෙවන පරිශ්‍රයේ පැවති “බතික් ලංකා ප්‍රදර්ශනය” විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

සැබෑ ලෙස රට ජාතිය බේරා ගැනීම සඳහා අපනයන ආර්ථිකයක් ඇති කිරීමට කටයුතු කරන පිරිසට පමණක්, රටේ අනාගතය පිළිබදව කතා කිරීමට අයිතිය තිබෙන බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා “දේශීය නිෂ්පාදන හා දේශීය ආයෝජන ශක්තිමත් කරමින් විදේශීය ආයෝජන ලබාගැනීම සඳහා අප පියවර ගත යුතුයි. රටේ අපනයනය ඉක්මවා ආනයනය ඉහල ගොස් තිබෙනවා. භාණ්ඩ ආනයනය කිරීමේදී ණය ලබා ගැනීමට හෝ එම අපනයන සීමා කිරීමට අපට සිදු වෙනවා. මෙම ආනයන අපනයන පරතරය පියවීමට සැම විටම ණය ලබාගැනීමට නොහැකියි. රටේ නිෂ්පාදනය ඉහල නැංවීමට පියවර ගෙන අපනයනය වර්ධනය කිරීම තුලින් අතිරික්තයක් ඇති කර ගැනීමට පියවර ගත යුතුයි. ලබන වසර 05 තුල එවැනි විශාල අපනයන ආර්ථිකයක් වෙනුවෙන් සැලසුම් සකස් කර තිබෙන බව සඳහන් කරන්න කැමතියි. අපනයන ආර්ථිකයක් කරා ගමන් කිරීමේදී මහා පරිමාණ කර්මාන්ත සඳහා පමණක් සීමා නොවී කුඩා ව්‍යාපාර, සංචාරක ව්‍යාපාර, විශාල හා කුඩා හෝටල්, හෝම් ස්ටේ වැනි සියලූම අංශ අවශ්‍ය වෙනවා. එදා සංචාරකයින් මෙරටට පැමිණෙන විට කාර් හා වෑන් රථ මගින් ප්‍රවාහන කටයුතු සලසා ගත්තා. නමුත් අද ත්‍රිරෝද රථ මගින් ඔවුන් සංචාරයේ යෙදෙනවා. කවර ආකාරයක සංචාර සිදු කළත් ආර්ථිකයට අගයක් එකතු කර ගැනීම අපේ බලාපොරොත්තුවයි. සංචාරක හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඇතුළුව අනෙකුත් ක්ෂේත්‍රයන් දෙස අවධානය යොමු කර ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රය බවට පත් කිරීමටත් නාවුක හා ගුවන් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.අපනයන ආර්ථිකයකට ගමන් කර රට ඉදිරියට ගෙන යනවාද, නැතිනම් පහළට ඇද වැටෙනවා දැයි ඔබෙන් විමසන්න කැමතියි. බොහෝ දෙනෙක් රට ජාතික බේරා ගැනීමට යැයි පවසමින් දේශපාලනයේ යෙදෙනවා. නමුත් රට ජාතිය සැබෑ ලෙස බේරා ගැනීමට අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතුයි. ඒ පිළිබඳව කතා කළ හැකි පිරිසට පමණක් රටේ අනාගතය පිළිබඳව කතා කිරීමට අයිතියක් තිබෙන බව කිව යුතුයි.යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරණාරත්න පරණවිතාන, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, හිටපු පළාත් සභා මන්ත්‍රිනි ශාන්තිනි කෝන්ගහගේ, ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් අශෝකා අලවත්තගේ, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ඉන්දිරා මල්වත්ත, ජාතික ශිල්ප සභාවේ සභාපතිනි හේෂානි බෝගොල්ලාගම, සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් සමන් බණ්ඩාර යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, ඉන්දුනිසියානු තානාපති කාර්යාලයේ නියෝජිත ලියා කාර්තිකා සාලි මහත්මිය ඇතුළු විශාල පිරිසක් ද සහභාගි වී සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *