27 April 2024
#දේශීය

රන්ජන් නිදහස් කිරීමේ අරගලය අවසන් නෑ – විපක්ෂ නායක සජිත්

රන්ජන් රාමනායක මහතාට තවමත් ප්‍රජා අයිතිය හෝ දේශපාලනය කිරීමේ අයිතිය හෝ මැතිවරණවලට ඉදිරිපත් වීමේ අයිතිය, ලැබී නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ නිකවරටිය ආසන බලමණ්ඩලයේ අද (27) පැවැති රැස්වීමකදිය.

රංජන් රාමනායක මහතාට ලබාදී ඇත්තේ බාග නිදහසක් බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34වෙනි ව්‍යවස්ථාවේ 1ඈ, අනුව ලබාදුන් නිදහසක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා, ඒ අනුව සිදුවී ඇත්තේ එතුමාට සිරගතව හිඳින්නට තිබූ ඉතිරි කාලය ඉවත් කිරීම පමණක් බවත් පැවසීය.

34වන ව්‍යවස්ථාවේ දෙවෙනි වගන්තිය යටතේ එතුමාට නිදහස ලබාදිය යුතු වුවත් සිදුවී ඇත්තේ එවැන්නක් නොවන බව කී හෙතෙම, රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලබා දෙන ලෙස කාරුණිකව ජනාධිපතිවරයාට සිහිපත් කරන බවද පැවසීය.

කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ නායකයා ලෙස තමන් රන්ජන් රාමනායක මහතා තවමත් මන්ත්‍රීවරයකු ලෙස සලකා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට කැඳවන බවත්, මන්ත්‍රී කණ්ඩායමේ නිත්‍ය සාමාජිකත්වයත්, කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වයත් ඒ මහතාට ලබාදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගයේ දූෂණ විරෝධී ව්‍යාපාරය ප්‍රධානියා ලෙස ද ලෙසද රන්ජන් රාමනායක මහතාව පත් කරන බව පැවසූ විපක්ෂ නායකතුමා එයින් නොනැවතී රන්ජන් රාමනායක මහතාගේ පූර්ණ නිදහස වෙනුවෙන් උපරිමයෙන් කැපවෙන බවද කීය.

මේ මොහොතේ ජනාධිපතිවරයා සර්වපාක්ෂික ආණ්ඩුවකට කතා කළත් සැබැවින්ම සිදුවන්නේ එකට එක්වී රට කෑම උදෙසා සර්ව සර්වභක්ෂක ආණ්ඩුවක් නිර්මාණය කිරීම බවද ඒ මහතා පැවසීය.

මේ වන විටත් රට ඉදිරියේ ණය මර උගුල් තුනක් ඇති බවත් රට ගොඩනැඟීමට නම් ඒ මර උගුල් තුන විසඳාගත යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා, ඊට අදාළ කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුව විසින් රටට ඉදිරිපත් කර නැතැයිද පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *