වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර නිල හමුව අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර දැනට පවතින රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා “විස්තීර්ණ හවුල්කාරිත්වයක්” (Comprehensive Partnership) දක්වා ඉහළ නැංවීමට නායකයන් දෙපළ මෙහිදී එකඟ වූහ. මෙය දෙරටේ සබඳතාවල ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
වර්ෂ 2030 වන විට ද්විපාර්ශ්වික වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් බිලියන 01ක් දක්වා වර්ධනය කිරීමේ ඉලක්කය තහවුරු කෙරිණි.
වියට්නාම් ව්‍යාපාරික දූත පිරිසක් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති, සංචාරක සහ නිෂ්පාදන ක්ෂේත්‍රවල ආයෝජනයට කැමැත්ත පළ කර ඇත.
වියට්නාම් ගුවන් සේවය (Vietnam Airlines) සහ වියට්ජෙට් එයාර් (VietJet Air) මෙම වසරේ සිට කොළඹ සහ වියට්නාමය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
වියට්නාම් රජය විසින් ශ්‍රී ලංකාවට මෙට්‍රික් ටොන් 100ක යූරියා සහ සුපර් පොස්පේට් පොහොර පරිත්‍යාගයක් සිදු කරන ලදී.
කෘෂිකාර්මික නවීකරණය, ඩිජිටල් ආර්ථිකය, තොරතුරු තාක්ෂණය සහ කෘත්‍රීම බුද්ධිය (AI) යන ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමට එකඟතා ඇති විය.
වියට්නාමයේ නිර්මාතෘ හෝ චි මිං මහතා ශ්‍රී ලංකාවේ තුන්වරක් සංචාරය කර තිබීම සිහිපත් කළ ජනාධිපතිවරයා, කොළඹ මහජන පුස්තකාලයේ ඇති හෝ චි මිං පරිශ්‍රය පුළුල් කිරීමේ කටයුතු ද ආරම්භ කළේය. එසේම, කලාපීය සාමය සහ සමුද්‍රීය ගමනාගමනයේ නිදහස තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර නීතියට අනුව කටයුතු කිරීමේ වැදගත්කම දෙරටේම නායකයන් අවධාරණය කළහ.
විද්‍යාව හා තාක්ෂණය, පොලිස් සහයෝගීතාව සහ සන්නිවේදන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නව අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද මෙහිදී අත්සන් තැබිණි.













