විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවී ඔවුන් මුහුණ දෙන ගැටලු සහ රජයේ ඉදිරි වැඩසටහන් පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ. ස්ප්‍රින්වේල් නගර ශාලාවේදී පැවති මෙම හමුව මෙල්බර්න් හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කර තිබූ අතර ඊට විශාල පිරිසක් සහභාගී වී ඇත.
මෙම හමුවේදී විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ අදහස් සහ ගැටලු පිළිබඳව අමාත්‍යවරයා සවන් දුන් අතර, වත්මන් රජයේ ප්‍රධාන ප්‍රතිපත්තිමය තීරණ සහ රටේ අනාගත සංවර්ධන සැලසුම් පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමටද පියවර ගෙන ඇත. විදේශගත ශ්‍රී ලාංකිකයින් රජය කෙරෙහි තබා ඇති විශ්වාසය සහ ලබාදෙන සහයෝගය වෙනුවෙන් ස්තූතිය පළ කළ අමාත්‍යවරයා, එම විශ්වාසය රැක ගැනීමට රජය අඛණ්ඩව කටයුතු කරන බවට සහතික වී තිබේ.
මෙම අවස්ථාවට පැවති ඉහළ මහජන සහභාගීත්වය තුළින් රටේ අනාගත ප්‍රගතිය සහ පාලනය පිළිබඳව ශ්‍රී ලාංකික ඩයස්පෝරාව තුළ පවතින දැඩි උනන්දුව පිළිබිඹු වන බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත. දැනට නිල සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින අමාත්‍ය හේරත් මහතා, තම සංචාරය අතරතුර ඕස්ට්‍රේලියාවේ තවත් නගර කිහිපයක ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට සහ වෙනත් රාජකාරි කටයුතු සඳහා සහභාගී වීමට නියමිතය.















