27 April 2024
#දේශීය

ශ්‍රීලනිප ජනාධිපතිවරණය ගැන අවසන් තීන්දු ළඟදීම .. – දුමින්ද කියයි

ඉදිරි සති දෙක තුන ඇතුළත ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය ගන්නා බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය පැවැත්වෙන සැප්තැම්බර් 02 එහි අවසන් තීන්දුව ගැනීමට හැකිබව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

මේ වන විට මෙම සාකච්ජා සාර්ථක වී අනාගතයේ රටේ ජනාධිපතිවරයා පත් කර ගන්නා පුළුල් සන්ධානය බිහි කර ගන්න හැකි වෙතැයි විශ්වාසයක් කරන නමුත්, මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය -පොහොට්ටුවට දිය කරන්න සූදානමක් නොමැති බව හෙතෙම පැවසිය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර, තලාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කෝන්ගොල්ලෑව ගම්මානයේ එක්සත් සුභ සාධක සමිතිය සඳහා පුටු හා ජල ටැංකියක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්ය. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ විමධ්‍යගත අරමුදලින් මෙම භාණ්ඩ බෙදා දීම සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා ” මම ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මම ශ්‍රී ලංකා කියාගෙන, මාව යවන්න එක පාර්ශවයක් මම යූ.එන්.පී යනවා කියලා කියනවා, තව පාර්ශවයක් ඒ අයට හයිය නැති නිසා මම ඒ පැත්තට එයි කියලා බලාගෙන ඉන්න කණ්ඩායමකුත් ඉන්නවා.මම තනි වෙලා ඉන්නවා, දෙපැත්තක අය මම යූ.එන්.පී යනවා කියලා කියනවා.ඉතාම පැහැදිලිව කියන්න ඕන කාරණයක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ගන්න තීන්දුවක් ගන්නවා විනා, අපිට එහෙම පක්ෂ මාරු කරන්න අවශ්‍යතාවක් නෑ. මම මෛත්‍රී මහත්තයා එක්ක නොවැම්බර් 21 වැනිදා එළියට ගිහින්, මෛත්‍රී මහත්තයාගේ සම්පූර්ණ ඡන්ද ව්‍යාපාරය තුළ මම කිව්ව ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා 2015 ජනවාරී 08 වැනිදා කියන්නේ රටේ ජනාධිපතිවරයා උතුරු මැද පළාතෙන් බිහි කර ගන්න දවස වගේම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක්තවය උතුරු මැද පළාතට ගන්න දවස තමයි ජනවාරී 08 කියන්නේ කියලා.අපිට සැලසුමක්, වැඩපිළිවෙලක් තිබුණා ජනාධිපතිකම පමණක් නෙමෙයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් අපි ශක්තිමත් කරනවා කියන බලාපොරොත්තුවත් එක්ක තමයි අපි එදා හිටියේ, ඒ වගේම අද වෙනකල් අපි ඉන්නේ ඒ බලාපොරොත්තුවෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ වගේ නරක කාළසීමාවන් තිබුණා, හැබැයි ඒ නරක කාළසීමාවන් කොච්චර තිබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන ඒ මහා දැවැන්ත පක්ෂය කාටවත් මරන්නවත්, විනාශ කරන්නවත් පුළුවන්කම ලැබුණේ නෑ.සිරිමාවෝ මැතිණියත් එක්ක තරහා වෙලා චන්ද්‍රිකා මැතිණියත් අලුත් පක්ෂ හැදුවානේ, හැබැයි අවසානයේ ඒ අලුතින් හදපු පක්ෂය මැරෙනවා, චන්ද්‍රිකා මැතිණිය නැවත වතාවක් තමන්ගේ මහ ගෙදරට එනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි අපේ මුල, මැද, අග.අපේ ආරම්භය වගේම අපේ අවසානය වෙන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මිසක් වෙනත් පක්ෂ නෙමෙයි” යැයි දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *