27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කරන්න – විදෙස් ඇමති රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්ගෙන් ඉල්ලයි

මහජන රාජ්‍යතාන්ත්‍රිකභාවය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මඟින් විදේශ රටවලදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කරන ලෙස විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි.

බුදුදහම, මැණික්, තේ, කුළුබඩු, විශිෂ්ට තත්ත්වයේ අපනයන නිෂ්පාදන සහ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාර වැනි අප රටට ආවේණික සන්නාම භාවිතා කරමින්, මහජන රාජ්‍ය තාන්ත්‍රිකභාවය කාර්යක්ෂම සහ ඵලදායි ලෙස භාවිතා කිරීම මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය විදේශ රටවලදී වර්ධනය කරන ලෙස විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, සිය නිලධාරීන්ගේ මහජන රාජ්‍යතාන්ත්‍රික කටයුතු සහ ජනමාධ්‍ය සබඳතා පිළිබඳ කුසලතා වැඩි දියුණු කිරීමේ අරමුණෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සහයෝගයෙන් සංවිධානය කළ මහජන රාජ්‍ය තාන්ත්‍රිකභාවය හා ජනමාධ්‍ය සබඳතා පිළිබඳ දෙසති පුහුණු වැඩසටහනේ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය 11 වනදා පැවැති අවස්ථාවේදීය. ශ්‍රී ලංකා විදේශ සේවයට 2018 වසරේදී බඳවා ගනු ලැබූ නවක නිලධාරීහු සහ දැනට අමාත්‍යාංශයේ සේවය කරන මධ්‍යම මට්ටමේ නිලධාරීහු කණ්ඩායමක් මෙම පුහුණු වැඩසටහනට සහභාගී වූහ.

මහජන රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ ජනමාධ්‍ය සබඳතා වෙනුවෙන් කැපවූ මෙවැනි වෘත්තීමය පුහුණු වැඩසටහනක් විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරනු ලැබූයේ දශක දෙකකට පසු පළමු වරටය.

උත්සවය අමතා අදහස් දැක් වු අමාත්‍ය තිලක් මාරපන මහතා, “ එකිනෙකා කෙරෙහි කරුණාව දක්වන මෛත්‍රියෙන් පිරි ජනතාවගෙන්ද සුලබව ඇති කුසලතාවලින්ද සමන්විත ශිෂ්ට සම්පන්න රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය විදේශ රටවල නිරූපණය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. “එම පණිවිඩය ඉතා පැහැදිලිව ලබා දිය යුතු” යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මෙම ප්‍රතිරූප වර්ධන ව්‍යායාමයේදී සහ ශ්‍රී ලංකාව පිළිබඳව ඇති අවබෝධයන් වෙනස් කරලීමේදී නව්‍යතාවෙන් යුතුව සිතා කටයුතු කරන ලෙසට ඔහු ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේය. මෙම කාර්යයන්වලදී මහජන රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ජනමාධ්‍ය සබඳතා පිළිබඳ කුසලතා බෙහෙවින් ප්‍රයෝජනවත් වන බවද අමාත්‍යවරයා පැවැසීය.

මෙම උත්සවය ඇමතූ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, මහජන රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් මෙරටදී මෙන්ම විදේශවලදීද විදේශ කටයුතු අමාත්‍යාංශයට ප්‍රධාන භූමිකාවක් රඟදැක්වීමට ඇති බවත්, ඊළඟ විසි වසර තුළ රජයේ මහජන රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කුසලතාවලින් ශ්‍රී ලංකා විදේශ සේවයේ විවිධ මට්ටම්වල කණ්ඩායම් රැසක් සන්නද්ධ කිරීමට මෙම ප්‍රබල පුහුණු වැඩසටහන සමත් වූ බවත් ප්‍රකාශ කළේය. රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ජනමාධ්‍ය සමඟ සබඳතා ගොඩ නඟා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ ඒ මහතා, චිරස්ථායි සම්බන්ධතාවකට මඟ පාදමින්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට සහ ජනමාධ්‍යවේදී ප්‍රජාවට එකිනෙකාගේ දෘෂ්ටිකෝණ අවබෝධ කරගැනීමේ කර්තව්‍යයේ නියැළීමේ වේදිකාවක් මෙම දෙසති පුහුණු වැඩසටහන විසින් නිර්මාණය කරන ලද බව පැවැසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *