27 April 2024
#දේශීය

සාමය සහ සංහිදියාව තුළින් වැඩ කරන ජනතාවට දිනා ගත හැකි දෑ බොහෝ බව අගමැති මැයි දින පණිඩිවය නිකුත් කරමින් කියයි

සාමය සහ සංහිදියාව තුළින් වැඩ කරන ජනතාවට දිනා ගත හැකි දෑ බොහෝ බවත් මේ තාක් අප විසින් අත්පත් කර ගත් ප්‍රගතිය අන්තවාදී බලවේග මඟින් අඩාල කර දැමීමට ඉඩ නොතබා, අප අවදි මනසින් කටයුතු කරනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා නිකුත් කල මැයි දින පණිවිඩය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

වැඩ කරන ජනතාවගේ දවස ලෙස ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇති මැයි දිනය මෙවර එළඹෙන්නේ, රට, දැය වෙනුවෙන් දහදිය ශ්‍රමය වැය කළ අහිංසක ජනතාවක් රුදුරු ත්‍රස්ත ප්‍රහාර හමුවේ අහිමි වී ගිය, තුවාල ලැබූ ශෝකී අවස්ථාවක මෙන්ම, රටේ ආරක්ෂාවට, ආර්ථිකයට සහ සමස්ත පැවැත්මට විශාල අභියෝගයක් එල්ල වූ තීරණාත්මක මොහොතක ය.

පැවති සමාජ, දේශපාලන, ආර්ථික අර්බුද ජයගනිමින්, සාමකාමී වටපිටාවක තිරසර සංවර්ධනයක් කරා පා නගමින් සිටි අප රටට මේ අනපේක්ෂිත ප්‍රහාර නිසා ඇති වූ බලපෑම අති විශාල ය. මෙම ප්‍රහාරයන්හි අරමුණ ද රට අස්ථාවර කරමින් අප දිනාගත් සියලූ ජයග්‍රහණයන් ආපහු හැරවීම බව පැහැදිලිය.

කම්කරු ශ්‍රමයේ සැබෑ අරුත සමානාත්මතාව, සහෝදරත්වය, ස්වාධීනත්වය යන පරමාදර්ශයන් තුළ ගැබ් වී ඇත. අපි ගොවිබිමේ, කම්හලේ, නව තාක්ෂණයෙන් පිරිපුන් රැකියා ස්ථාන ආදී කොතැනක සේවය කළත් ජාතිවාදය හෝ ආගම්වාදය පසෙක ලා මනුෂ්‍යත්වයට ගරු කිරීමට බැඳී සිටිමු. පුද්ගලයින් වශයෙන් මෙන්ම සමස්ත සමාජයක් ලෙසත් මව්බිමේ සමාජ, ආර්ථික සංවර්ධනයට දායක වීමට අපට හැකි වන්නේ එවිටය.

සාමය සහ සංහිදියාව තුළින් වැඩ කරන ජනතාවට දිනා ගත හැකි දෑ බොහෝය. මේ තාක් අප විසින් අත්පත් කර ගත් ප්‍රගතිය අන්තවාදී බලවේග මඟින් අඩාල කර දැමීමට ඉඩ නොතබා, අපි අවදි මනසින් කටයුතු කරමු. අප හමුවේ ඇති සමාජ, ආර්ථික මෙන්ම දේශපාලනික අභියෝග ජයගැනීමට නම් අපි එක්සත්ව, දැඩි වීර්යයෙන් යුතුව නැගී සිටිය යුතු වෙමු.

 

මෙම අනපේක්ෂිත ප්‍රහාර නිසා බිඳ වැටුණු හදවත් සුවපත් කරමින්, අප ජනතාව සතු ශක්තීන් හඳුනා ගනිමින් පෙරට යන ගමනේ දී වැඩකරන ජනතාවගේ ශ්‍රමයට නිසි අගයක් ලබා දෙන සාධාරණ සමාජයක් ගොඩනැගීමට මෙවර මැයි දිනයේ දී කැපවෙමු.

රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *