ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට දින 110ක් පුරා සාමය වෙනුවෙන් පා ගමනට නායකත්වය දුන් පඤ්ඤාකර හිමියන්ගේ සහභාගීත්වයෙන් මෙරට පැවැත්වෙන “ඒහිපස්සිකෝ” සාම පාගමන හෙට (21) ආරම්භ වේ. උන්වහන්සේ හෙට අලුයම 5.30ට දිවයිනට වැඩම කරන අතර පෙරවරු 9ට අත්තනගල්ල රජමහා විහාරයේදී විශේෂ මාධ්‍ය හමුවකට එක්වීමට නියමිතය.
පා ගමනේ දින වකවානු සහ කාල සටහනට අනුව, හෙට (21) පස්වරු 3ට අනුරාධපුරයේදී ශ්‍රී මහා බෝධි අංකුරය භික්ෂූන් වහන්සේ වෙත පූජා කිරීම සහ පස්වරු 4ට රුවන්වැලි සෑ පුදබිමේ ආගමික වැඩසටහන පැවැත්වේ. අනතුරුව අප්‍රේල් 22 පෙරවරු 6.30ට දඹුල්ල විහාරයෙන් පා ගමන ආරම්භ වී මාතලේ අළු විහාරයෙන් අවසන් වන අතර, අප්‍රේල් 23 පෙරවරු 7ට මාතලේ අළු විහාරයෙන් ඇරඹී මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ළඟා වේ. අප්‍රේල් 24 පෙරවරු 6.45ට දළදා මාලිගාවෙන් ඇරඹෙන පා ගමන මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් විහාරය දක්වා ගමන් කිරීමට නියමිතය.
අප්‍රේල් 25 පෙරවරු 6.30ට බෙලිගම්මන විහාරයෙන් ඇරඹී තෝලංගමුව ජාතික පාසලෙන් අවසන් වන පා ගමන, අප්‍රේල් 26 පෙරවරු 6ට තෝලංගමුවෙන් ඇරඹී යක්කල අබේසේකරාරාමය දක්වාත්, අප්‍රේල් 27 පෙරවරු 6ට යක්කලින් ඇරඹී කැලණිය රජමහා විහාරය දක්වාත් ගමන් කරනු ඇත. අප්‍රේල් 28 පෙරවරු 11.30ට කැලණිය රජමහා විහාරයෙන් ආරම්භ වී කොළඹ නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමෙන් පසු පා ගමන නිමාවට පත්වේ. එදින පස්වරු 4ට නිදහස් චතුරස්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් ශ්‍රී මහා බෝධි අංකුරය පඤ්ඤාකර හිමියන් වෙත පූජා කිරීමේ රාජ්‍ය උත්සවය පැවැත්වෙන අතර, සාම පා ගමනට වැඩම කළ භික්ෂූන් වහන්සේලා මැයි 01 වැනිදා නැවත ඇමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.












