27 April 2024
#දේශීය

සීමාසහිත ලංකා පොහොර සමාගමට හා මිල්කෝ සමාගමට සභාපතිවරු පත් කරයි

සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙස සෝමචන්ද්‍ර ජයකොඩි මහතා පත්කර තිබෙන අතර සීමාසහිත මිල්කෝ පුද්ගලික සමාගමේ නව සභාපතිවරයා ලෙස කීර්ති මිහිරිපැන්න මහතා අමාත්‍යවරයා විසින් නම්කොට ඇති අතර මිල්කෝ සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස එම්.එච්.එම්. පසාල් මහතා පත් කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන ජයකොඩි මහතා රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් ද වේ. ශ්‍රී ලංකා රේගුවේ වසර 39 ක සේවා කාලයක් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඒ මහතා ජාතික පශු සම්පත් මණ්ඩලයේ නියෝජ්‍ය සභාපතිවරයා වශයෙන් ද සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ද මීට පෙර කටයුතු කර ඇත.

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇති අතර ලංකා පොහොර සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස ජෙරම් සමරතුංග මහතා පත්කොට ඇත. ජෙරම් සමරතුංග මහතා සමෘද්ධි මූල්‍ය බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයෙහි සහ සමූපකාර අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශයේ උපදේශකයෙකු වශයෙන් මීට පෙර කටයුතු කර ඇත. ප්‍රමුඛ පුද්ගලික ව්‍යාපාර කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩලයේ ද ජෙරම් මහතා කටයුතු කරනු ලබයි.

සීමාසහිත මිල්කෝ පුද්ගලික සමාගමේ නව සභාපතිවරයා ලෙස මීට පෙර මිල්කෝ සමාගමේ 2015 -2018 දක්වා සභාපතිවරයා ලෙස කටයුතු කළ කීර්ති මිහිරිපැන්න මහතා අමාත්‍යවරයා විසින් නම්කොට ඇති අතර ඔහු මෙරට ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකි. මිල්කෝ සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස එම්.එච්.එම්. පසාල් මහතා පත්කොට ඇති අතර ඔහු මිල්කෝ සමාගමේ මෙන්ම සමාජ ආරක්ෂණ මණ්ඩලය, සමෘද්ධි මූල්‍ය මණ්ඩලය නියෝජනය කරන ලද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස මීට පෙර කටයුතු කර ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *