ශ්‍රී ලංකාවේ සේවකයින් සඳහා ප්‍රමාණවත් පඩි සහිත නිවාඩු සහ රජයේ නිවාඩු හිමිව තිබුණද, නිවාඩු ලබා සිටින කාලය තුළ රැකියාවේ පීඩනයෙන් මිදී සැබෑ ලෙසම විවේක ගැනීමට හැකිද යන්න පිළිබඳව අවධානය යොමුකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය පවසයි.
දිනකට පැය 8 බැගින් වසර 35-40ක කාලයක් සේවකයෙකු රැකියා ස්ථානයේ ගත කරන බවත්, එම කාලය තුළ අධික ශබ්දය, විකිරණ, රසායනික ද්‍රව්‍ය, සදොස් ඉරියව් (ergonomics) මෙන්ම මානසික පීඩනය, විශාදය (depression), කාංසාව සහ වෘත්තීය වෙහෙස (burnout) වැනි බරපතල සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන බවත් ඇය සඳහන් කළාය. පඩි සහිත නිවාඩු මඟින් මෙම පීඩනයෙන් මිදී පවුල සමඟ ගත කිරීමට සහ ශාරීරිකව නැවත යථා තත්ත්වයට පත්වීමට අවස්ථාව ලැබේ. ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) මඟින් නිකුත් කළ වාර්තාවකට අනුව, ඩිජිටල් තාක්ෂණය සහ දුරස්ථ රැකියා (remote work) නිසා නිවාඩු ලබා සිටින අවස්ථාවලදී පවා සේවකයන්ට ආයතනවලින් සන්නිවේදනය කරමින් බාධා පැමිණවීමේ නව ප්‍රවණතාවක් මතුව තිබේ. ඒ වෙනුවෙන් ලොව ඇතැම් රටවල් නිවාඩු කාලය තුළ රැකියාවෙන් සම්පූර්ණයෙන්ම වෙන්වීමට ඇති අයිතිය (Right to disconnect) නීතිගත කිරීමට පියවර ගෙන ඇති බවද එම වාර්තාව පෙන්වා දෙයි.














