27 April 2024
#දේශීය #පුවත්

සෞඛ්‍ය අමාත්‍යවරයා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂ නිරීක්ෂණයක

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වත්මන් රෝගී ප්‍රතිකාරක සේවාවන්, මානව හා භෞතික සම්පත් සංවර්ධන කටයුතු මෙන්ම පවතින අඩුපාඩු සොයා බලා කඩිනම් විසදුම් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ (29) එම රෝහලේ විශේෂ නිරික්ෂණයක නිරත විය.

මෙහීදී රෝහල මගින් සපයනු ලබන රෝගී ප්‍රතිකාර සේවාවන්, සිදු කළ සහ සිදු කිරිමට නියමිත සංවර්ධන වැඩසටහන් ඇතුළු මානව හා භෞතික සම්පත් පිළිබදව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිළකරත්න මහතා පැහැදිලි කිරීමක් සිදු කරන ලද අතර, එම කරුණු වලට අදාලව කෙටිකාලන හා දිගුකාලීන විසදුම් ලබාදීම මෙහිදී සිදු විය. එමෙන්ම ඉදිරි වසර සදහා වෙන්වන සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ රෝහලේ අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු සදහා පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු නිලධාරින් මෙහිදී පෙන්වා දෙන ලදි.

තමන් සෞඛ්‍ය අමාත්‍යධූරයට පත්ව ගතවන දෙවන මාසය අවසන්ව ඇති බවත්, එම කාලය තුල මුහුණ දුන් සහ අවබෝධ කරගත් ප්‍රධාන කරුණු 04 ක් වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවැසීය. එම කරුණු අතර ඖෂධ හිඟතාවය, බුද්ධි ගලනය, මන්දපෝෂණය, රෝහල් කාර්ය මණ්ඩලවල අතපසුවිම් වන බව ද පෙන්වා දෙන ලදි.

ඖෂධ හිඟතාවය යන කරුණේ දී ප්‍රසම්පාදන ක්‍රියාවලිය, මිලදී ගැනීමේ ක්‍රමවේදය, අඛණ්ඩව ජනතාවට ගුණාත්මක ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙල යථාවත් කිරිමට ගත හැකි ක්‍රමවේද ක්‍රියාත්මක කරමින් පවතින බවත්, බුද්ධි ගලනය කරුණේ දී වෛද්‍යවරුන්ට, අනෙකුත් වෘත්තිකයින්ට යහපත් පරිසරයක ජිවත්වෙමින් සිය සේවාවන් ජනතාවට ලබාදීමට හැකි පරිසරයක් සාමුහිකව සකස් කිරිමේ අභියෝගය අප සතුව පවතින බව අමාත්‍යවරයා පැවැසීය.

මෙම නිරීක්ෂණ කටයුතු සදහා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් මෙන්ම පේරදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.බි ළමාවංශ, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය එම්.එම් අර්ජුන් තිළකරත්න පේරාදෙණිය වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනී මහාචාර්ය වසන්තා පින්තු යන මහත්වරුන් ඇතුලු රෝහල් කාර්ය මණ්ඩල එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *