27 April 2024
#දේශීය #පුවත්

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඇමරිකානු තානාපතිනීය අතර හමුවක්

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ඇමරිකානු තානාපතිනී ජුලී චංග් මහත්මිය අතර හමුවක් අද (30)සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය.

මෙම හමුවේදි මෙරට සෞඛ්‍ය සේවාවේ වත්මන් තත්ත්වය සහ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම උදෙසා ඇමරිකානු රජය දක්වන සහ‌යෝගය සහ ප්‍රදානයන් පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිනි.

මෙහිදී සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරමින් ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම සදහා මෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ඉහළ නැංවීම සදහා රජය වැඩපිළිවෙල රාශියක් සහ යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඖෂධ හිඟය මඟහැරවීම, ඖෂධ ඇතුලු වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරිම, ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙල, නව සංවර්ධන කටයුතු මෙන්ම රෝග ආවේක්ෂණ කටයුතු ශක්තිමත් කිරිම සදහා ද රජය පියවර රැසක් ගෙන ඇති බව පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ අදහස් වලට සවන්දුන් ඇමරිකානු තානාපතිනිය, ශ්‍රී ලංකාවේ වත්මන් සෞඛ්‍ය අභියෝග ජය ගැනීම සඳහා සහාය විය හැකි ආකාරය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ඇගයීමට ලක් කරන ලද අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීමට ඇමරිකාව මුල්‍ය, තාක්ෂණික සහ භෞතික වශයෙන් ලබාදිය හැකි සියලු උපකාරයන් ලබාදීමට කටයුතු කරන බව පැවැසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ද එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *