සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනි පැට්රීකෂියා ලාසාරා පෙගෝ ගුවේරා මහත්මිය අතර විශේෂ හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍ර සබඳතා තවදුරටත් පුළුල් කිරීම සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි අභියෝග ජයගැනීම සඳහා කියුබාවේ සහයෝගය ලබාගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ විය.
කියුබාවේ දියුණු මහජන සෞඛ්‍ය පද්ධතිය සහ ජෛව තාක්ෂණික දැනුම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට ඉමහත් දායකත්වයක් ලබා දී ඇති බව අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය. කියුබානු සහයෝගයෙන් අතීතයේ ක්‍රියාත්මක වූ මදුරු මර්දන ව්‍යාපෘති, ඩෙංගු පාලනය සඳහා ලබා දුන් විශේෂඥ දැනුම, ඖෂධ හා එන්නත් නිෂ්පාදනය මෙන්ම ශ්‍රී ලාංකික සිසුන් සඳහා වෛද්‍ය අධ්‍යාපන අවස්ථා ලබාදීම වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වර්ධනය කළ හැකි බව තානාපතිනිය පෙන්වා දුන්නාය.
එමෙන්ම කියුබාවේ නිෂ්පාදිත ‘Abdala’ කොවිඩ්-19 එන්නත සහ අනෙකුත් වෛද්‍ය නවෝත්පාදන පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අමතරව ක්‍රීඩා, කෘෂිකර්මාන්තය සහ දේශගුණික විපර්යාස වැනි ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කළහ. ආපදා හා හදිසි අවස්ථාවලදී රෝග විනිශ්චය සඳහා භාවිත කළ හැකි කියුබාවේ නිෂ්පාදිත විශේෂ වෛද්‍ය උපකරණ කට්ටලයක් ද මෙහිදී අමාත්‍යවරයා වෙත හඳුන්වා දෙන ලදී.

