ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා මෙරටට පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම සිය කටයුතු සාර්ථකව අවසන් කර තිබේ. එම සමාලෝචන නිර්දේශ පදනම් කරගනිමින් මෙරට සෞඛ්‍ය සේවා ජාලය තවදුරටත් කාර්යක්ෂම සහ ජනතා කේන්ද්‍රීය පද්ධතියක් බවට පත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් මහතා ඇතුළු විශේෂඥ කණ්ඩායම සෞඛ්‍ය අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ විද්වතුන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා ඇත. මෙම කණ්ඩායම රත්නපුර දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වෙමින් “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආයතන නිරීක්ෂණය කර ඇති අතර, එහිදී ප්‍රජා මට්ටමින් සෞඛ්‍ය සේවා සැපයීමේ සැබෑ තත්ත්වය පිළිබඳව ඔවුන් සෘජු අත්දැකීම් ලබාගෙන තිබේ.
ලබාගත් දත්ත සහ නිරීක්ෂණ පදනම් කරගනිමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණ සඳහා ගත යුතු ඉදිරි පියවර ඇතුළත් වාර්තාවක් ඉදිරි දින කිහිපය තුළ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව විශ්වීය සෞඛ්‍ය ආවරණයක් කරා යන ගමනේදී ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහිදී සහතික විය. මෙම සාකච්ඡාව සඳහා ඕස්ට්‍රේලියාව, ජපානය, ඉන්දියාව, තායිලන්තය සහ එක්සත් රාජධානිය නියෝජනය කරමින් ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයින් පිරිසක් ද එක්ව සිටියහ.












