දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හැටන් ඇතුළු මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ රැසක එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් සාමාන්‍ය පාරිභෝගික ජනතාව මෙන්ම ඉදිරි වෙසක් උත්සවය වෙනුවෙන් දන්සල් සංවිධානය කරන පිරිස් ද දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව වාර්තා වේ.
නිරන්තරයෙන් ඇද හැලෙන අධික වැසි හේතුවෙන් එළවළු වගාවන්ට හානි සිදු වීම සහ ප්‍රවාහන කටයුතුවලට බාධා එල්ල වීම මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත. හැටන් ප්‍රදේශයේ වත්මන් වෙළෙඳපොළ තත්ත්වය අනුව එළවළු මිල ගණන් සටහන් වන්නේ මෙසේය:
බෝංචි කිලෝව: රුපියල් 650 – 700 මාළු මිරිස් කිලෝව: රුපියල් 600 – 650 කැරට් කිලෝව: රුපියල් 400 – 450 ලීක්ස් කිලෝව: රුපියල් 350 – 400
මීට අමතරව වම්බටු ඇතුළු සෙසු එළවළු වර්ගවල මිල ගණන් ද කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. පවතින අධික මිල හමුවේ වෙසක් දන්සල් සඳහා අවශ්‍ය එළවළු සපයා ගැනීම තමන්ට දැඩි මූල්‍ය පීඩනයක් වී ඇති බවත්, ඇතැම් විට සැලසුම් කළ පරිදි දන්සල් පැවැත්වීමට පවා නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් සංවිධායකවරු පවසති. මෙම තත්ත්වය හමුවේ පාරිභෝගික ජනතාව ඉල්ලා සිටින්නේ එළවළු මිල පාලනය කිරීමට බලධාරීන් කඩිනම් පියවර ගත යුතු බවයි.
















