ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුව භාරගත් දින සිට මේ දක්වා කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත පැමිණ තිබෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 10ක් වැනි ඉතා සුළු ආයෝජනයක් පමණක් බවත්, මෙරටට අලුතින් එකම විදේශීය ආයෝජකයෙකුවත් ආකර්ෂණය කර ගැනීමට වත්මන් ආණ්ඩුව අසමත් වී ඇති බවත් සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ප්‍රකාශ කළේය.
ඊයේ (26) සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මරික්කාර් මහතා කියා සිටියේ ඇමරිකානු ඩොලරයක අගය රුපියල් 250 දක්වා තවදුරටත් පහළ බසිනවාට තමන් ඇතුළු විපක්ෂය ද කැමති මුත්, රටේ සැබෑ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් කොටස් වෙළෙඳපොළ සක්‍රිය කරමින් මහා පරිමාණ විදේශීය සෘජු ආයෝජන (FDI) රට තුළට ගලා ඒමට සැලැස්වීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.
වත්මන් පාලනය යටතේ විදෙස් ආයෝජකයන් තුළ ලංකාව කෙරෙහි පවතින විශ්වාසය ගිලිහී යාමේ අවදානමක් මතුව ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ආර්ථිකයේ ස්ථාවරත්වය පිළිබඳව හිස් ප්‍රකාශ සිදුකිරීමෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගිකව ආයෝජන දිනාගැනීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුව සතුව පවතින්නේ දැයි ප්‍රශ්න කර සිටියේය.
















