දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරියක වන චන්ද්‍රානි බණ්ඩාර මහත්මියට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් ගොනු කර තිබූ නඩුව අද (08) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවා තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවා තිබූ අතර, එහිදී නඩුවේ සාක්ෂිකාරියකගෙන් විත්ති පාර්ශවය වෙනුවෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදුකර ඇත. ඉන් අනතුරුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජූලි මස 09 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.
නඩුවට පාදක වූ චෝදනාව:
පසුගිය 2019 ජනවාරි 14 වනදා සහ 2019 ජනවාරි 31 වනදා අතර කාලසීමාව තුළ, නිසි රාජ්‍ය ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් එච්.එම්. චන්ද්‍රවංශ නැමැත්තෙකු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීමට කටයුතු කිරීම ඇයට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවකි.
මීට අමතරව, සිය හිතවතුන් පිරිසක් නීත්‍යානුකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු උසස් නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් දණ්ඩ නීති සංග්‍රහය සහ අල්ලස් පනත යටතේ “දූෂණය” නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරියට එරෙහිව මෙම අධි චෝදනා ගොනු කර තිබුණි.
















