27 April 2024
#දේශීය

හෝටල් සහ ආපන ශාලා සදහා නව නීති රීති ඇමැති රාජිත කියයි

හෝටල් සහ ආපන ශාලා වලින් ආහාර ලබාගන්නා ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාදීම සදහා නව නීතිරීති කඩිනමින් ගෙනඑන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “දිවයින පුරා පිහිටි හෝටල් ශ්‍රේණිගත කිරිම පසුගිය කාලයේ දී සිදු කෙරුනා. ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාගැනීම සදහා හෝටල් සහ ආපන ශාලා සදහා නව නීති රීති සෞඛ්‍ය අමාත්‍යංශය සකස් කරමින් සිටිනවා. එහිදී සෑම හෝටලයක්ම වසරක් පාසා ලියාපදිංචි කළ යුතු අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය හදුන්වා දෙන නව රෙගුලාසි වලට ද අනුකූල විය යුතුයි. ආහාර අතින් අල්ලා පාරිභෝගිකයාට අලෙවි කිරිම ද තහනම් කරනවා. ජනතාව බෝනොවන රෝග වලින් ආරක්ෂා කර ගැනීම සදහා විවිධ පියවර ගනු ලබනවා. අමාත්‍යාංශ 14 ක් ඒකාබද්ධව බෝනොවන රෝග කවුන්සිලය ස්ථාපිත කර විවිධ ක්‍රියාමාර්ග සාකච්ඡා කරනවා. එහි ප්‍රතිඵල ඉදිරියේ දී ජනතාව අතරට ඉදිරිපත් කිරීමට සුදානම්. බෝනොවන රෝග පාලනය කිරිම සදහා ලෝක බැංකුව විසින් මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ලබාදී ඇති අතර, තවත් ඩොලර් මිලියන 100 ක් ලබාදීමට නියමිතයි. පාසල් පද්ධතිය තුල ආපන ශාලා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක අතර, පාසල් දරුවන්ට ලබාදිය යුතු ආහාර පිළිබද ලේඛණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය හදුන්වා දී තිබෙනවා. එම ආපන ශාලා ප්‍රතිපත්තිය පාසල් 150 ක පමණ ක්‍රියාත්මක අතර, එම ආපන ශාලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ද ලක් කරනවා. එලෙස ආහාර අලෙවි නොකරන පාසල්වල විදුහල්පතිවරුන්ගෙන් කරුණු විමසීමට ද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කර තිබෙවා. බෝනොවන රෝග පරීක්ෂා කිරිම සදහා විවිධ උපකරණ ද පාසල් වලට ලබාදී තිබෙනවා.”යැයි අමාත්‍යවරයා පැවසිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *