27 April 2024
#සංවර්ධන

ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ තදබදය වළක්වන්න අලුතින් ප්‍රාදේශීය ඒකක 03ක්

ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ තදබදය වළක්වන්න අලුතින් ප්‍රාදේශීය ඒකක 03ක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය පවසයි.

රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අවශ්‍ය වන වෛද්‍ය වාර්තා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් ලබා ගැනීමේ දී දැනට පවතින තදබදය වැළැක්වීමට සුදුසු විකල්ප වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මින් පෙර උපදෙස් ලබා දී තිබුනි..

දැනට එම වෛද්‍ය සහතික ලබා ගැනීම සඳහා වැඩිම පිරිසක් පැමිණෙන්නේ කොළඹින් බැහැර ප්‍රදේශවලින් බැවින් එසේ පැමිණෙන ජනතාවට පහසුවෙන පරිදි ප්‍රාදේශීය කාර්යාල තුනක් අලුතින් ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව රත්නපුර, බණ්ඩාරවෙල, නුවරඑළිය වැනි ප්‍රදේශවල සිටින මහජනතාවට පහසුවන පිණිස එක් කාර්යාලයක් අවිස්සාවේල්ල ද, උතුරු හා නැගෙනහිර මෙන්ම උතුරු මැද පළාතේ ජනතාව සඳහා උප කාර්යාලයක් දඹුල්ල ප්‍රදේශයේ ද, වයඹ, ගම්පහ, හා ඊට ආසන්න වෙනත් ප්‍රදේශවල මහජනතාව සඳහා මීගමුවේ ද උපකාර්යාලයක් පිහිටුවීමට ජාතික ප්‍රවාහණ වෛද්‍ය ආයතනය විසින් තීරණය කර ඇත.

මෙම ඒකක පිහිටුවීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස උපදෙස් දී ඇති අමාත්‍යවරයා රියදුරු බලපත්‍ර මුද්‍රණය කර නිකුත් කිරීමේ පහසුකම් සහිත කාර්යාලයක් අනුරාධපුරයේ ස්ථාපිත කිරීමට ද පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත. එමගින් උතුරුමැද, උතුර, නැගෙනහිර මෙන්ම විශේෂයෙන් රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා විශාල මුදලක් වැය කරමින් හා වෙහෙසක් දරමින් කොළඹට මහජනතාව පැමිණීම වළක්වා , එම ජනතාවට පහසුවෙන් රියදුරු බලපත්‍රය ලබා ගත හැකි හා වෛද්‍ය වාර්තා ලබා ගත හැකි වන පරිදි පහසුකම් නැංවීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණ බව ද ප්‍රකාශ කළේය.

 

 

දිලිනි සමන්මලි 

 

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *