27 April 2024
#දේශීය

ඉපලෝගමදි බස් රථයක් අලියෙකුගේ ගැටී අනතුරින් 04 ක් රෝහලේ

ඉපලෝගම පොලිස් වසමේ මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් වන අලියකුගේ ගැටීමෙන් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදු වී ඇති බව ඉපලෝගම පොලීසිය පවසයි.

මෙලෙස අනතුරකට ලක්ව ඇත්තේ කැකිරාව සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයකි. අද අලුයම 5.20 ට පමණ මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

මහඉලුප්පල්ලම බීජ පර්යේෂණ ආයතනය ඉදිරියේදී මෙම අනතුර සිදුව ඇත. බීජ පර්යේෂන ආයතනයේ රැදී සිටි වන අලියකු නැවත වනයට යාම සඳහා වැට කඩාගෙන මාර්ගය හරහා ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදුව ඇත.බස් රථයේ වම් පස කෙළවරේ වන අලියා ගැටී ඇති අතර, ඒ සමඟ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන විශාල මාර ගසක ගැටී බස් රථය අනතුරට ලක්ව ඇත.අනතුරින් බස් රථයට දැඩිව අලාභ හානී සිදුව තිබිණි.

අනතුරින් බස් රථයේ රියදුරු, කොන්දොස්තර හා මගීන් දෙදෙනකු ඇතුළු සිවු දෙනෙක් සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

අනතුරට පත් බස් රථයේ “එන්න ගුවනේ අත්දැකීම් පොළවේ විඳ ගන්න “ යැයි පාඨයක්ද සඳහන්ව තිබූ අතර, අනතුර දැක බලා ගන්නට පැමිණි බොහෝ දෙනෙකුගේ අවධානය ඊටද යොමු විය.

මෙම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය හරහා නිරන්තරයෙන් අලි මාරු වන බවත්, මේ ආකාරයෙන් සිදු වන්නට ගිය මාරක අනතුරු රැසක් රියදුරන්ගේ සැලකිලල හේතුවෙන් මඟ හැරුණු බවත්, මීට වඩා විශාල අනතුරක් සිදු වන්නට පෙර මේ සඳහා පිළියමක් ලබා දෙන ලෙසත් ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිති.

ඊයේ (23) දිනද කුඹුක්ඇන්ද වැවෙහි වන අලින් 05 දෙනෙකු ද රැදී සිටියේය. අනතුර සම්බන්ධයෙන් ඉපලෝගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *