27 April 2024
#සංවර්ධන

යල කන්නයට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කරයි – ඇමැති අමරවීර

2023 ඉදිරි යල කන්නයේ වී වගාව හා බඩඉරිගු වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.

මේ වනවිටත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම්වලට අයත් ගබඩා සතුව යුරියා පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් තිබේ. ඊට අමතරව තවත් මෙට්‍රික් ටොන් 25,000ක් මිල දී ගැනීමට කටයුතු යොදා ඇත.

එම යුරියා පොහොර තොගවලට අමතරව තවත් යුරියා මෙට්‍රික් ටොන් 25,000ක් මිල දී ගැනීම සඳහා මෙම රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කිරීමට තීරණය කළේය.

යුරියා පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂයක සංචිතයක් පවත්වා ගැනීම මගින් යල කන්නයේ වී වගාව, බඩඉරිගු වගාව මෙන්ම අනිකුත් බෝග වගාවන් සදහා අවශ්‍ය යුරියා පොහොර ලබා දීම මෙහි අරමුණ බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය.

2023 යල කන්නයේ දී වී වගාවට අත්‍යවශ්‍ය පොහොර වර්ග තුනම එනම්- TSP ( මඬ පොහොර) , MOP (බන්ඩි පොහොර) සහ යුරියා පොහොර හිඟයකින් තොරව ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

ඒ අනුව මූලික පොහොර හෙවත් මඬ පොහොර යල කන්නය ආරම්භයේ දීම සියලු වී ගොවීන්ට වගාවට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇත. එම පොහොර නැව මෙම මස මැද දී කොළඹ වරායට ලඟාවීමට නියමිතය. එහි මඬ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් සහිතය.

මීට අමතරව බන්ඩි පොහොර හෙවත් MOP පොහොර මෙට්‍රික් ටොන් 35,000ක පමණ අතිරික්තයක් පොහොර සමාගම් සතුව පවතී. යුරියා පොහොර ද මෙට්‍රික් ටොන් 60,000ක පමණ සංචිතයක් මෙම මස අග වනවිට පවත්වා ගනු ලබන අතර වෙන් කරන ලද රුපියල් බිලියන 10ක මුදල යටතේ මිල දී ගැනීමට නියමිත යුරියා පොහොර සමග මෙට්‍රික් ටොන් ලක්ෂයකට ආසන්න සංචිතයක් පවත්වා ගැනීමට හැකියාව ලැබේ.

එම නිසා 2023 යල කන්නයේ දී වී ගොවිතැන සඳහා අවශ්‍ය සියලු පොහොර හිඟයකින් ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා ඊයේ (31) නිලධාරින්ට සඳහන් කළේය.

ඒ අනුව මීට අදාල ප්‍රසම්පාදන කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *