දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් රැඳවියන් 1,500කට ආසන්න පිරිසක් බන්ධනාගාරගතව සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂන නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා යොමුකළ ප්රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්යවරයා සඳහන් කළේ, රුපියල් 10,000ත් 15,000ත් අතර කුඩා දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වීම නිසා පමණක් රැඳවියන් 421 දෙනෙකු බන්ධනාගාරගතව සිටින බවයි. මේ වන විට මෙරට බන්ධනාගාරවල සමස්ත සිරකරුවන් 10,611ක් සහ සැකකරුවන් 28,408ක් සිටින බවත්, දඩ මුදල් ගෙවීමට නොහැකිව සිටින සමස්ත රැඳවියන් 1,454 දෙනා නිදහස් කරගැනීම සඳහා ඕනෑම රාජ්ය හෝ රාජ්ය නොවන සංවිධානයකට අදාළ දඩ මුදල් ගෙවා දායක විය හැකි බවත් අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















