සාමාන්‍ය දත් කැක්කුමක් යැයි සිතා දන්ත වෛද්‍යවරයෙකු හමුවීමට ගිය 19 හැවිරිදි තරුණයෙකුට, තම ජීවිතයම උඩුයටිකුරු කරන බරපතළ ලියුකේමියා (Leukemia) ලේ පිළිකා තත්ත්වයක් වැළඳී ඇති බව අහඹු ලෙස අනාවරණය වී තිබේ. බ්‍රිතාන්‍යයේ සවුත් වින්ග්ෆීල්ඩ් (South Wingfield) ප්‍රදේශයේ පදිංචි ෆෝක්ලිෆ්ට් රථ රියදුරෙකු ලෙස සේවය කරන ඊතන් හැරිසන් (Ethan Harrison) නැමැති මෙම තරුණයා, පසුගිය මැයි මාසයේදී සිය දකුණුපස උඩු සහ යටි හකු ප්‍රදේශයේ ඇතිවූ දැඩි දත් කැක්කුමක් හේතුවෙන් දන්ත සායනයක් වෙත ගොස් ඇත.
එහිදී පරීක්ෂණ සිදුකළ දන්ත වෛද්‍යවරයා, තරුණයාගේ බෙල්ලේ පවතින වසා ගැටිත්තක (Lymph node) අසාමාන්‍ය ඉදිමීමක් නිරීක්ෂණය කර වහාම ඔහුව පවුලේ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. ඉන් අනතුරුව සිදුකළ හදිසි රුධිර පරීක්ෂාවකදී (Blood test) ඔහුගේ රුධිර සෛලවල බරපතළ වෙනස්කම් හඳුනාගත් වෛද්‍යවරුන්, වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුව චෙස්ටර්ෆීල්ඩ් රෝයල් රෝහලේ (Chesterfield Royal Hospital) දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර ඇත. එහිදී වෛද්‍යවරුන් තහවුරු කර ඇත්තේ ඊතන්ට “Acute Myeloid Leukaemia” නැමැති ඇටමිදුළු සහ රුධිරය ආශ්‍රිතව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන දරුණු පිළිකා තත්ත්වය වැළඳී ඇති බවයි.
විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ, දන්ත වෛද්‍යවරයාගේ නිසි මැදිහත්වීම මත දින 04ක් ඇතුළත මෙම පිළිකාව හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ නොකළේ නම්, ඊතන්ට ජීවත් වීමට ඉතිරිව තිබුණේ තවත් සති 3කටත් වඩා අඩු කෙටි කාලසීමාවක් පමණක් බවයි. දැනට සති කිහිපයක සිට රෝහල්ගතව කීමෝතෙරපි (Chemotherapy) ප්‍රතිකාර ලබාගනිමින් පසුවන ඊතන්ගේ මව වන 37 හැවිරිදි රොක්සි බොන්ඩ් (Roxy Bond) මාධ්‍ය වෙත කියා සිටියේ, තම පුතු මීට පෙර කිසිදා රෝහල්ගත නොවූ නීරෝගී තරුණයෙකු වුවද මෙම දරුණු රෝගී තත්ත්වයට ඉතා නොසැලී සහ ධෛර්යසම්පන්නව මුහුණ දෙමින් සිටින බවයි. ඊතන් සම්පූර්ණ සුවය ලබා සාමාන්‍ය ජීවිතයට පැමිණීම සඳහා තවත් වසරකට ආසන්න කාලයක් අඛණ්ඩව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාගත යුතු බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි.
















