2016 වසරේ ජනවාරි 04 වනදා එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතිය අමතා සිදු කළ ඓතිහාසික ප්‍රකාශයක් වූයේ, 2020 වසර වන විට ශ්‍රී ලංකාව තුළ දුම්කොළ වගාව සම්පූර්ණයෙන්ම තහනම් කරන බවයි. අද වන විට 2026 වසර උදාවී ඇතත්, එම ප්‍රතිඥාව තවමත් කඩදාසියකට පමණක් සීමා වී තිබීම රටේ ජාතික ප්‍රතිපත්තිවල පවතින බරපතල අඩාල බවක් පෙන්නුම් කරයි.
දුම්කොළ සමාගම් විසින් සිය වගා කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යන අතර, ඒ සඳහා නිශ්චිත රජයේ මැදිහත්වීමක් හෝ සැලසුම් සහගත තහනමක් ක්‍රියාත්මක නොවීම කනගාටුදායකය. ජාතික දුම්වැටි විරෝධී දිනයක් සැමරුවද, සැබෑ විසඳුම ඇත්තේ දුම්කොළ වගාව නියාමනය කිරීමේ සහ අවසානයේ එය තහනම් කිරීමේ දේශපාලන සහ පරිපාලනමය ශක්තිය තුළය. එමනිසා, ලබන වසරේ සිට හෝ මෙම තහනම ක්‍රියාත්මක කිරීම උදෙසා අවශ්‍ය ‘ජාතික සැලැස්ම’ වහාම එළිදැක්විය යුතුය.
වගාව තහනම් කිරීමෙන් පමණක් නොනැවතී, එම ගොවීන් සඳහා විකල්ප ජීවනෝපාය මාර්ග හඳුන්වා දීම, කෘෂිකාර්මික පරිවර්තනයකට ලක් කිරීම සහ දුම්කොළ කර්මාන්තයේ බලපෑම්වලින් රාජ්‍ය ප්‍රතිපත්ති මුදා ගැනීම මෙහිදී අත්‍යවශ්‍ය වේ. වසර 10ක් පුරා කල් ගිය මෙම පොරොන්දුව, රටේ මහජන සෞඛ්‍ය සහ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් වහාම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ වගකීම වර්තමාන බලධාරීන් සතුය.
















